කෙලිගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට


(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

අරගලයට සහභාගී වීම හේතුවෙන් තමන්ව මෙරටින් පිටුවහල් කිරීමට ආගමන විගමන පාලකවරයා ගත් තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය ස්කොට්ලන්ත ජාතික කෙළි ප්‍රේසර් මෙනෙවිය ගොනුකර තිබූ රිට් පෙත්සම විභාගයට නොගෙන ඉවත දැමීමට  අභියාචනාධිකරණය අද (16) තීරණය කළේය.

ඒ අනුව වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම සහ එම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය  එලෙස තීරනය කලේය.

මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ අද (16) සලකා බැලිණ.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා මගින් ඉකුත් (12) වැනි දා ගොනු කර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසකි.

ලබන 2023 මාර්තු 3 වැනිදා තෙක් තමන්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටිය හැකි ලෙසට වලංගු වීසා අනුමත කර ඇති බවත් එසේ තිබියදී ශ්‍රී ලංකාවේ ආගමන විගමන පාලකවරයා තමන් මෙරටින් පිටුවහල් කිරීම සඳහා තීරණය කර ඇතැයි පෙත්සම්කාරිය සිය පෙත්සමේ සඳහන් කර තිබිනි.