කෘෂි පොලී රහිත ණය දෙන ගිවිසුමට අත්සන් කරයි


(අංජුල මහික වීරරත්න)

කෘෂිකර්ම නවීකරණ වැඩසටහනෙහි පළමු අදියර යටතේ කෘෂි ව්‍යවසායකයින් සහ ගොවීන් සඳහා  පොලී රහිත ණය ලබාදීමේ ක්‍රියාවලියට අදාල අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති කාර්යාලයේදී අද (22)සිදු විය.

පළමු අදියරේදී මෙම වැඩසටහන සඳහා දායකත්වය ලබා දෙන ලංකා බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති මහතා විසින් එම අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තැබීය.ඒ අනුව ඉදිරියේ දී මහජන බැංකුව සමඟද ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය. 

කෘෂි නවීකරණ වැඩසටහනෙහි පළමු අදියරේ  දී නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26හි කෘෂි නවීකරණ කේන්ද්‍රස්ථාන හරහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 25 බැගින් රුපියල් මිලියන 650 ක මුදලක් වෙන් කර ඇති අතර, දෙවන අදියරයේදී රුපියල් මිලියන 10ක කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 75ක් හඳුනාගෙන ඇත. 

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි කෘෂි නවීකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී, අදාල ව්‍යාපෘති පිරිවැයෙන් 30% කට වැඩි දායකත්වයක් කෘෂි ව්‍යවසායකයින් සහ ගොවීන් විසින් දරනු ලබන අතර ඉතිරි 70% සඳහා රජය දායකත්වය දරයි.