(ටී.කේ.ජී.කපිල)
කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට නිවෙස් හිමියන් වෙතින් විවිධ හිරිහැර, කරදරවලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දෙනෙකු අද (14) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.
මොවුන් අතරින් වැඩි පිරිසක් අනුරාධපුරය සහ පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචිකාරියන් වූ අතර, ඉතිරි පිරිස ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල පදිංචි අය වූහ .
ඔවුන් සේවය සඳහා ගොස් සිටියදී, නිවෙස් හිමියන්ගෙන් වූ හිරිහැර තවදුරටත් ඉවසාගත නොහැකිව එම නිවෙස්වලින් පැන යමින් සිටියදී, එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙයින් 13 දෙනෙකු කුවේටයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රඳවා තබාගෙන සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් වන අතර, ඉතිරි 33 දෙනා කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ " සුරක්ෂා" රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා සිටි අය වූහ.
ඔවුහු අද(14) දින උදෑසන 6.20 ට කුවේටයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
ඔවුන් විසින්ම ලබා ගත් ගුවන් ප්‍රවේශ පත්‍ර මගින් සහ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ මෙම මෙම ගෘහ සේවිකාවෝ පිරිස ශ්‍රී ලංකාවට පැමිණියහ.
ඔවුහු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ, ගුවන් තොටුපළ කාර්යාලයේ මේ පිළිබඳව පැමිණිලි කිරීමෙන් අනතුරුව, ඔවුන්ගේ නිවෙස් බලා පිටත්ව ගියහ.

