කුවේටයෙන් පිටුවහල් කළ 35ක් මෙරටට


(ටී.කේ.ජී.කපිල )

කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් පසුව එරට වීසා නොමැතිව , නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 35 දෙනෙකු එරටින් පිටුවහල් කර අද(29) කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

 මෙම පිරිස අතර ගෘහ සේවිකාවන් 33 දෙනෙකු සහ ගෘහ සේවකයින් 02 කු විය .

 මොවුන් අතරින් එරට හාම්පුතුන් විසින් එරට වාසය කිරීමට අවශ්‍ය  ඔවුන්ගේ වීසා බලපත්‍ර කාළය දීර්ඝ කර නොදී සිටි පිරිසක්  සහ  තවත් පිරිසකගේ ගමන් බලපත්‍ර හාම්පුතුන් විසින් ඔවුන්ට ආපසු  ලබා නොදුන් පිරිසක් ද  වූහ .

 කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සමග සාකච්ඡා කර මෙම පිරිස නිශ්කාශනය කර ගැනීමට පියවර ගෙන තිබුණි .

 එසේම ඇතැම් සේවිකාවන්ට එරෙහිව එරට අධිකරණයේ නඩු පවරා තිබූ අතර , තවත් පිරිසකට ඔවුන්ගේ හාම්පුතුන් විසින් ව්‍යාජ නඩු පවරා තිබූ අතර , ඒ සියලු නඩු කටයුතු සදහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අවශ්‍ය නීතීඥ සහාය ලබා දී , එම නඩු සමථයකට පත් කර ගැනීමට ද පියවර ගෙන තිබුණි .

 එමෙන්ම තවත් ඇතැම් සේවිකාවන්ට හිමි සිය අවසන් ප්‍රතිලාභ සහ හිග වැටුප් ලබා ගැනීමට ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත් වී තිබුණි .