කුරුණෑගලින් තවත් රෝගියෙක්


( පුෂ්පකුමාර ජයරත්න )

මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන කුරුණෑගල උයන්දන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා ප්‍රකාශ කළේය.

මොහු තම බිරිඳත් සමඟ කුරුණෑගල උයන්දන ගැමුණු මාවත ප්‍රදේශයේ පදිංචිව සිටින බවද නිවාඩුවක් ලබා නිවසට පැමිණ ආපසු රැකියාවට යාමෙන් පසුව කළ පරීක්ෂාවකදී ඔහුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බවද වෛද්‍ය ෆරීඩ් මහතා සඳහන් කළේය.

මොහු ආයතනයෙන් නිවාඩුවක් ලබා පැමිණ කුරුණෑගල පිහිටි පෞද්ගලික රෝහලකින් පසුගිය මස 25 වන දින ශල්‍යකර්මයක් කරගෙන ඇති බවද, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාරයක් ලබා ගැනීමට උයන්දන ප්‍රදේශයේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත පසුගිය 3 වන දින ගොස් ඇති බවද මේවනවිට අනාවරණය වී තිබේ.

ඒ අනුව ඔහුට ප්‍රතිකාර කළ උයන්දන වෛද්‍යවරයා සහ ඔහුගේ සහායිකාවක ද, ආසාදිතයාගේ පවුලේ සාමාජිකයන් ද මේවනවිට ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බවද වෛද්‍ය ෆරීඩ් මහතා ප්‍රකාශ කළේය. මෙම ආසාදිතයා මේවනවිට ඇසුරු කර ස්ථාන සහ පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බවද ඒ මහතා පැවසීය. ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යවා ඇත.