කුඹුරුවලට ’’පැරෂුට් ක්‍රමය’’


(අංජුල මහික වීරරත්න)

මෙම වසරේ දී කුඹුරු අක්කර 13,000ක් පැරෂුට් ක්‍රමය යටතේ වී වගා කිරීමට රුපියල් මිලියන 400ක් වෙන් කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 

චීනයේ අතිසාර්ථක වී වගා ක්‍රමයක් වන පැරෂුට් වගා ක්‍රමය දැනට  ලංකාවෙි භාවිත වුවද තවමත් එම ක්‍රමය පිළිබඳ නිසි අවබෝධයක් අප රටේ  ගොවි ජනතාවට  නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

මේ නිසා පැරෂුට් වගා ක්‍රමය ව්‍යාප්ත කිරීම සඳහා පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

රටේ වී වගාවේ අස්වැන්න ඉහල නැංවීමට නම් නව වගා ක්‍රම හඳුන්වා දිය යුතු බව පැවසූ අමාත්‍යවරයා  පැරෂුට් ක්‍රමය භාවිතා කිරීම මගින් අක්කරයකින් දැනට ලැබෙන වී අස්වැන්න ඉහළ නැංවීමටත් ගොවියකුට ලැබෙන ආදායම අක්කරයකට රුපියල් 35,000කින්  ඉහළ නංවා ගැනීමටත් හැකිවන බව සඳහන් කළේය. සාම්ප්‍රදායික ලෙස වී වගාවට වැය වෙන මුදල අවම කර ගැනීම, පොහොර සඳහා වැය වන මුදල අවමවීම, වල් මර්දනය සඳහා වල් නාශක භාවිතය සඳහා යන වියදම අවම වීම, අක්කරයකින් ඉහළ අස්වැන්නක් ලබා ගත හැකිවීම නිසා මෙම වගා ක්‍රමය හැම අතින්ම සාර්ථක වී වගා ක්‍රමයක් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

පැරෂුට් ක්‍රමයට වී වගා කිරීම  සඳහා අක්කරයකට වී තවාන් තැටි 350ක් පමණ අවශ්‍ය වේ.

 මෙම වසරේ මහ කන්නයේ දී සියලුම ගොවීන්ට පැරෂුට් තවාන් තැටි ලබා දීම සම්බන්ධව රජයේ අවධානය යොමු කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.