
(නිශාන්ත කුමාර)
පිටමාරුව කුඩා ලෝකාන්ත භූමිය තුළ සංචාරක කූඩාරම් ඉදිකිරීම මුළුමණින්ම තහනම් කළ බව මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් ජයවර්ධන මහතා පැවසීය.
පිටමාරුව පුංචි ලෝකාන්තය බැලීම සඳහා පැමිණෙන සංචාරකයින් කූඩාරම් ඉදිකර, එහි නවාතැන් ගැනීමෙන් පසු පරිසරය විනාශ කරන බව සභාපතිවරයා පැවසීය.
ඇතැම් පිරිස මත්පැන් පානය කරමින් සෙසු සංචාරක පිරිසට බාධා වන ලෙස හැසිරෙන බවට තමුන් වෙත පැමිණිලි ලැබී ඇතැයිද සංචාරකයින්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළැඹි බව ද සභාපතිවරයා පැවැසීය. ඇතැම් සංචාරකයින් මේ වන විටත් ගිනි මැල ගැසීම සඳහා අවට රක්ෂිතය විනාශ කිරීමට පටන්ගෙන ඇති අතර ඔවුන් රැගෙන එන පොලිතින් සහ ප්ලාස්ටික් ආදිය ප්‍රදේශය පුරා විසුරුවා දමා ඇතැයිද සභාපතිවරයා පැවැසීය.
පිටමාරුව පුංචි ලෝකාන්තය මේ වන විට මීගහකිවුල ප්‍රාදේශීය සභාව යටතට පවරාගෙන එහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත. ඒ හේතුවෙන් එහි පැමිණෙන සංචාරක පිරිස දිනෙන් දින ඉහළ යමින් පවතින අතර ඇතැම් පිරිස් කූඩාරම් ඉදි කරගෙන එහි රාත්‍රී කාලය ගත කිරීමට පුරුදු වී සිටිති. ඔවුන් විසින් ඉවක් බවක් නැතුව පරිසරය විනාශ කිරීමට පටන් ගෙන ඇතැයි ද සභාපති සභාපතිවරයා පැවසීය.
කෙසේ වෙතත් පුංචි ලෝකාන්තය නැරඹීමට පැමිණෙන සංචාරකයින්යින්ට කූඩාරම් ඉදි කරගැනීම සඳහා වෙනම ස්ථානයක් පිළියෙල කර ඇති අතර එවැනි අවශ්‍යතාවයක් තිබෙන්නේ නම් මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ දුරකථන අංක 0552245775ට ඇමතීමෙන් අවශ්‍ය විස්තර ලබාගත හැකි බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.


