(එස්.එස්.එස්. ගුණරත්න)
වයස අවුරුදු නවයක සහ දහයක පාසල් දරුවන් දෙදෙනකුට බීමවලට මුසුකර මත්වතුර පෙවූ බව කියන දරුවන් නව දෙනකුගේ පියකු ලබන 22 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මහියංගනය මහේස්ත්‍රාත් ඒ.ඒ. ප්‍රියංකර ලක්ෂ්මන් මහතා නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කළේ රත්කිඳ මහවැලි ගම්මානයේ පදිංචි එච්.එම්.රත්නායක නමැති පෞද්ගලික ගොවිපොළක සේවකයෙකි.
සැකකරු තම නිවසේ ආලින්දයේ මත්වතුර පානය කරමින් සිටින අතර තුර එම නිවෙස අසලින්ගිය දරුවන් දෙදෙනාට අඬ ගසා පැණි බීම බවට හඳුන්වා දී මත්වතුර පොවා ඇතැයි පොලිසිය අධිකරණය හමුවේ කියා ඇත.
එම දරුවන් දෙදෙනා අසල්වැසි නිවෙස්වල පදිංචා දරුවන් බව ද පොලිසිය කියයි.වෙළෙඳ සලට ගිය තම දරුවන් දෙදෙනාගේ ඇස් රතු වී වැනි වැනී ගමන් කරන අයුරු දුටු ඔවුන්ගේ මව ඒ පිළිබඳව විපරම් කිරීමේදී එම දරුවන් පැවැසූ කරුණුවලට අනුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

