කුඩ්ඩා සමග ඇල්ලූ දුරකතනයට කුඩු ඉල්ලා ඇමතුම් ගලා එයි


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකපිට අත්අඩංගුවට ගත් තරුණයකු ළඟ තිබී පොලිස්ර බාරයට ගත් ජංගම දුරකථනයට ඔහුගෙන් අයිස් මත්ද්‍රව්‍ය ඉල්ලා මත්ලෝලීන් බවට පැවසෙන 50 දෙනකු පමණ අයිස්මත්ද්‍රව්‍ය ඉල්ලා දුරකථන ඇමතුම් ලබා දීමේ පුවතක් හලාවත උඩප්පුව පොලිසියෙන් වාර්තා වේ.

මෙම 23 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන පැයක පමණ කාලය ඇතුළත මෙම ඇමතුම් ලැබී ඇතැයි පොලීසිය පවසයි

මොහු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව නොදැන ඔහු ගෙන් මත්ද්‍රව්‍ය ඉල්ලා මෙසේ ඇමතුම් ලබාදී ඇති අතර එම ඇමතුම්වලට කතා කර ඇත්තේ පොලිස් නිලධාරියකු විසින් බව පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මෙම සැකකරුට දුරකථන ඇමතුම් ලබාදී අයිස් මත්ද්‍රව්‍යය ඉල්ලා සිටි බව කියන අය ගැන ද පොලීසිය සොයා බලා ගෙන යයි.

මුලින්ම අවුරුදු 19 ක් වයසැති තරුණයකු කොට්ටන්තිව් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත මෙම විසි තුන් හැවිරිදි තරුණයා ද අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකපිට අත්අඩංගුවට ගෙන ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථනයද පොලිස් බාරයට ගත් බව එම පොලිස් නිලධාරියා කීය.

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් මෙම 23 හැවිරිදි තරුණයා ළඟ තිබී පොලිස් භාරයට ගත්ජංගම දුරකථනයට ඇමතුම් ලබාදී ඇත්තේ අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටින අය බවට පොලීසිය සැක කරයි.