කිලිනොච්චියෙන් අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂා කරන්න’යි රස පරීක්ෂකට නියෝග


(නිමන්ති රණසිංහ)

ත‍්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය විසින් කිළිනොච්චිය පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් කළ ප‍්‍රශ්න කිරීම් මත අත්අඩංගුවට ගනු ලැබූ පුපුරණ ද්‍රව්‍ය තොගය සහ අවි ආයුධ තොගය පරීක්ෂා කර වාර්තාවක් අධිකරණය වෙත ලබා දෙන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (25) රජයේ රස පරීක්ෂකවරයාට නියෝගයක් නිකුත් කළේය.
 
සැකකාර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගෙන් කළ ප‍්‍රශ්න කිරිම්වලින් අනතුරුව යාපනය ප‍්‍රදේශයේ වල දමා තිබූ අත්බෝම්බ නමයක්, ඒ කේ 47 වර්ගයේ ගිනි අවියක්, රයිෆල් වර්ගයේ ගිනි අවියක්, සී ෆෝ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 16ක් පමණ සහ ජංගම දුරකතන 5ක් ඇතුළු තහනම් ද්‍රව්‍ය තොගයක් ඉකුත් අගෝස්තු මස 26 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ බවත්, පසුව ඒවා විශේෂ කාර්ය බලකාය විසින් නිශ්කී‍්‍රය කළ බවත් ත‍්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සදහන් කළේය.
 
ඒ අනුව එම පුපුරණ ද්‍රව්‍ය සහ අවි ආයුධ රජයේ රස පරික්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැදවන ලෙසට අවසර ලබා දෙන්නැයි එම කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් විණී.