කියුබාවේ ආපදාවලට ලක්වූවන්ට ආධාර දෙන්න මාරපනගෙන් යෝජනාවක්


( තිළිණි ද සිල්වා )

සුළි සුළං ආපදා තත්ත්වයෙන් හානිවූ කියුබාවට ඇමෙරිකා ඩොලර් 50,000 ආධාරයක් ලබා දීමට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරගැනීමේ සංකේතයක් ලෙසත් හා මේ වසරේ දී  දෙරට අතර රාජ්‍යතාන්ත‍්‍රික සබඳතාවලට 60 වසරක් පිරීම සැමරීම වෙනුවෙන් මෙම ආධාරය කියුබාවට ලබා දීමට විදේශ අමාත්‍යවරයා යෝජනා කර තිබිණි.

ඒ අනුව මෙම වසරේ ජනවාරි මස ඇති වූ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්වූ කියුබාවේ  හවානාහි රෙග්ලා ආශ‍්‍රිතව පිහිටි ගම්මානයක් ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා මෙම ආධාරය ලබා දීමට විදේශ අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලය වෙතට ඉකුත්දා අමාත්‍ය පත‍්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව ඇමෙරිකානු ඩොලර් 50,000ක ප‍්‍රදානයට අදාළව අමාත්‍ය තිලක් මාරපන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය ඉකුත්දා අනුමත කළ අතර එය ඉදිරියේ දී කියුබා රජයට ප‍්‍රදානය කරනු ඇතැයි ද එම අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.