කැබිනට් තීන්දුව ලැබුණොත් වෘත්තීය ක්‍රියාමාර්ගය අත් හරිනවා


(රංජන් කස්තුරි)

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය නැවත එම ධූරයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීන්දුව නිල වශයෙන් ලැබුණු විගස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හරින බව රේගු වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

පී.එල්.එස්. චාල්ස් මහත්මිය නැවත රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇතැයි සඳහන් තීන්දුව රේගු වෘත්තීය සමිතිවලට හෝ එම මහත්මියට හෝ අද (5) රාත්‍රීයේදීත් ලැබී නොතිබූ බවද රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති දිනූෂ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.

කැබිනට් මණ්ඩල තීන්දුව  හෙට (6) ලැබුණහොත් ඒ අවස්ථාවේදීම වෘත්තීය ක්‍රියාදාමයට අත් හිරින බවද ඔහු කීය.

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් පී.එල්.එස්. චාල්ස් මහත්මිය ඉවත් කිරීමට විරෝධය දක්වමින් රේගු වෘත්තීය සමිති සන්ධානය ඉකුත් 30 වැනිදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.

සංකේත වැඩ වර්ජනයකින් අනතුරුව රේගු වෘත්තීය සමිති සන්ධානය අද දක්වාම අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වුහ.