කාවින්ද වෙනුවට රාජිත - නලින්ද විශේෂ කාරක සභාවට


(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)
 
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජික ධූරයෙන් අද(24) ඉල්ලා අස් වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා වෙනුවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න සහ කලුතර දිස්ත්‍රික් (ජවිපෙ) මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන්  පත් කර තිබේ.

කතානායක කරූ ජයසූරිය මහතා අද(24) එම අමාත්‍යවරුන් විශේෂ කාරක සභාවට පත් කළ  බව පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

ඊයේ(23) පත්කෙරුණු මෙම විශේෂ කාරක සභාවේ සාමාජික සංඛ්‍යාව 8ක් ව තිබූ අතර අද සිදුකළ සංශෝධනය අනුව නව සාමාජික සංඛ්‍යාව 9කි.

ඉකුත් පාස්කු ඉරිදා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් සොයාබැලීමට මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත්කෙරිණි.