කාලගුණය කැඩු ගෙවල් ආණ්ඩුවෙන් හදා දෙයි


(අංජුල මහික වීරරත්න)

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්  පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවෙන් උපරිම සීමාවකට යටත්ව වන්දි මුදලක් ලබාදීමට හෝ එම නිවාස නැවත ඉදිකර දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දුන් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

එසේම  අර්ධ වශයෙන් හානි වූ නිවාස නැවත අලුත්වැඩියා කර ගැනීම සඳහා ද සිදුවී ඇති හානිය තක්සේරු කර යම් උපරිම සීමාවකට යටත්ව වන්දි මුදලක් ලබාදීමට පියවර ගන්නා බව ද  සාගල රත්නායක මහතා සඳහන් කළේය.

සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේ පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පූර්ණ හා අර්ධ වශයෙන් හානි වූ නිවාස නැවත ඉදිකිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

පසුගිය දිනවල රටේ විවිධ ප්‍රදේශවලට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවූ තද සුළං, ගංවතුර හා පස්කඳු කඩාවැටීම් වැනි ස්වභාවික ආපදාවන් නිසා හානි වූ නිවාස නැවත ඉදිකර දීම හෝ උපරිම සීමාවකට යටත්ව සුදුසු වන්දි මුදලක් ලබා දීම සම්බන්ධව මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.