
(කේ බුද්ධික කුමාරසිරි)
නවගමුව රණාල කැන්දහේනවත්ත ප්‍රදේශයේ රථවාහන අංගනයකදී වාහනයක පෑස්සුමක් සිදු කරමින් සිටියදී එක්වරම කාබයිට් ටැංකියක් පිපිරී යාමෙන් ඒ අසල පෑස්සුම් කරමින් සිටි පෑස්සුම් ශිල්පියකු අද (27) දහවල්මිය ගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි.
අනතුර සිදු වූ ස්ථානයේ රථවාහන අංගනය හිමියගේ දැනුම්දීම මත මියගිය පුද්ගලයා සිය වාහනයෙන්ම උපකරණ ද රැගෙන එම ස්ථානයට පැමිණ වාහන අලුත්වැඩියා කටයුතු සිදු කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
එලෙස පිපිරීමට ලක් වූ කාබයිට් ටැංකිය මියගිය පුද්ගලයාටම අයත් වූ ටැංකියක් බවත් එය ඉතා පැරණි තත්වයේ පැවතීමෙන් මෙලෙස පිපිරීමට ලක්වන්නට ඇති සැක පළ කරන බව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ රණාල වලව්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඒ-පී අජිත් වීරසිංහ නමැති 47 හැවිරිදි දෙදරු පියෙකි.

