ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්මතයි


(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)
 
ක්‍රීඩාවලට සම්බන්ධව වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද(11) සංශෝධන රහිතව සම්මත විය.
 
මේ පනත් කෙටුම්පත විවාදයට ගැනීම සඳහා පාර්ලිමේන්තුව ස්ථාවර නියෝග අත්හිටුවමින් අද හදිසියේ කැඳවනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, කතානායක කරූ ජයසූරිය මහතාගෙන් කරන ලද ඉල්ලීමක් අනුවය.
 
ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සංශෝධන කිහිපයක් ඉදිරිපත් කරනු ලැබුවද, ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා විසින් ඒවා ප්‍රතික්ෂේප කරනු ලැබීය.
 
මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද පෙරවරු 11.30ට ඇරැඹුණු අතර පස්වරු 2.30 දක්වා පැවැත්විණි.
 
මේ විවාදයේදී ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද අදහස් දැක්වූහ.
 
ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනය පිළිබඳ ජනත් කෙටුම්පත ද අද මැතිසබයේදී සංශෝධන සහිතව සම්මත විය.