ක්‍රිකට් අතුරු කමිටු නඩුවෙන් නිශ්ශංක බන්දුල ඉවත්‌ වෙයි


(රන්ජන් කටුගම්පොළ)

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉවත්වන බව දැනුම් දුන්නේය.

තමන් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහ අනිකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කර ඇති පදනම් විරහිත ප්‍රකාශය හේතුවෙන් තමන් මෙසේ නඩු විභාගය ඉවත් වන බව ද සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය

ඉන් අනතුරුව මෙම රිට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල වෙත යොමු කෙරිණි.

අභියාචනාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ද ඉවත් වන බව දැනුම්දීම හේතුවෙන් නව විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත රිට් පෙත්සම යළිත් යොමු කෙරිණි.

ඒ අනුව මෙම රීට් පෙත්සම ඩී.එන් සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම මස 16 වැනි දින කැඳවන ලෙසද නියෝග කෙරිණි.