(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
රජය වගාබිම් වල කටයුතු කිරීම සඳහා අවසර ලබා දී තිබුණද අස්වනු නෙලීමට ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමේ ගැටළුවක් මතුවී ඇතැයි කල්පිටියේ වගාකරුවෝ කියති.
කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය දැමීම මීට හේතුව බව වගාකරුවෝ පවසති.
මෙම තත්ත්වයට පෙර කල්පිටියයේ එළවළ හා පළතුරු වල අස්වැන්න නෙලීමට දවසකට 1000 කට ආසන්න පිරිසක් පැමිණෙන බව ඔවුහු පැවසූහ.
එළවළු වගාකරුවකු වන නිශාන්ත ප්‍රනාන්දු මහතා මේ පිළිබඳව මෙසේ පැවසීය.
“වගාබිම් වල කටයුතු වලට රජය අවසර ලබා දි තිබිම අපිට සහනයක් වුණා. නමුත් අපේ වගාබිම් වල අස්වැන්න නෙලීම සඳහා ශ්‍රමිකයින් ආවේ ආණමඩුව , නවගත්තේගම , නිකවැරටිය , කොටවෙහෙර , වනාතවිල්ලුව , කරුවලගස්වැව ආදි ප්‍රදේශ වලින්. ලොරි, කැබ් වලින් තමයි ඔවුන් වගාබිම් වලට ආවේ.
නමුත් ඇඳිරි නීතිය හේතුවෙන් ඔවුන්ට පැමිණීමට නොහැකි වී තිබෙනවා.ඔවුන්ට වගා බිම් වලට පැමිණෙන්න අවසර ලබා දිලත් නෑ. අස්වැන්න නෙලීමට තිබුණ එළවළු විශාල ප්‍රමාණයක් මේ හේතුවෙන් විනාශ වුණා.
පළතුරු වගාකරුවෙක් වන ඇන්ටනී ප්‍රදිප් මහතා මේ පිළිබඳව මෙසේ පැවසීය.
“කොමඩු කඩන දිනය පැනලා. වෙළඳ පොලට දාන්නත් අමාරුයි. ලක්ෂ ගණනක කොමඩු අස්වැන්න දැන් ඉවත්කරන්න වෙනවා . අපේ වගාවන් වල අස්වැන්න නෙලීම සිදු කළේ කාන්තා ශ්‍රමිකයින් නමුත් මේ තත්වය හේතුවෙන් මේ ආසන්නයේ ඉන්න පිරිමි ශ්‍රමිකයින්ට වැඩි වැටුප් දිලා වැඩ ගන්න වෙලා තියෙනවා.
කාන්තාවන් දිනකට 1000 විතර ආවා. ඒ පිරිස කරපු කටයුතු මේ සුලු පිරිසට කරන්න පුළුවන් කමක් නැහැ .ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමය යටතේ අදාල ශ්‍රමිකයින් අපිට ලබා දෙන්න කියලා.‘‘





