කල්පිටිය පොලිස් ස්ථානය පෞද්ගලික නිවසක


(පද්මා කුමාරී කංකානම්ගේ)

කල්පිටිය පොලිස් ස්ථානය දැනට පවත්වාගෙන යන ස්ථානයෙන් ඉවත් කිරීමට, උසාවියෙන් උපදෙස් ලබා දී ඇතත් සුදුසු ස්ථානයක් නොමැතිකමින් පෞද්ගලික නිවසක පවත්වාගෙන යන බව පුත්තලම කොට්ඨාස බාර පොලිස් අධිකාරී ජේ.ඒ.චන්ද්‍රසේන මහතා පැවසීය.
 
දිස්ත්‍රික් මූලස්ථාන පොලිස් සංකිර්ණයක් වශයෙන් උසස් කරන්නට ද නිර්දේශ ලබා ඇති මෙම පොලිස් ස්ථානය, 2019 මැයි 31ට පෙර ඉවත්කරන ලෙස මෙම නියෝගය ලැබී ඇතත් සුදුසු ස්ථානයක් නොමැතිවීමෙන් තවමත් එම ස්ථානයේම පවතී.
 
කල්පිටිය පොලිසිය 1972 වසරේ සිට පවත්වාගෙන යන්නේ, කල්පිටිය නගරයේ පිහිටි පෞද්ගලික නිවසක බවද, මේ වන විට එහි මාසික කුලිය වශයෙන් රුපියල් 70,000ක මුදලක් ගෙන බවත්, එම නිවසේ හිමිකරුවන් කලක පටන්ම ගිවිසුම අහෝසි කර එම නිවස සහිත ඉඩම නිදහස් කර දෙන ලෙස උසාවිය මගින් ඉල්ලීමක් කර ඇති බවද ඒ මහතා කීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ පොලිස් අධිකාරීවරයා මෙසේ  ද පැවසුවේ ය.
 
"කල්පිටිය පොලිසිය ස්ථාපනය කර තිබෙන්නේ, පෞද්ගලික ඉඩමක නිසා එහි කිසිදු ස්ථිර ගොඩනැගීමක් සිදුකරන්න බැහැ. මේ වන විට පොලිසිය පවත්වාගෙන යන්නේ දුෂ්කරතා රැසක් මධ්‍යයේ. පරිපාලන ගොඩනැගිල්ලක් නැහැ. ස්ථානාධිපතිවරයාට නිල නිවසක් නැහැ. අම්පාර,බදුල්ල මොණරාගල වගේ ඈත ප්‍රදේශවලින්, පැමිණ සේවය කරන විවාහක නිලධාරීන් ඉන්නවා. විවාහක නිලධාරීන්ට නිල නිවාස 100 ක පමණ අවශ්‍යතාව තිබුණත් විවාහක නිවස්න නැහැ. විධිමත් කාන්තා භට හෝ පිරිමි නිල නිවාස නැහැ."
 
ආචාර පෙළපාලිය පවත්වන්නේ කල්පිටිය තානායමට අයත් ඉඩමේ. නඩු භාණ්ඩ ගබඩා කර තිබෙන්නෙත් එම ඉඩමේමයි.

"මේක ඔඩු දුවපු ගැටලුවක්. ඉක්මණින් විසදුමක් අවශ්‍යයි. දැනට වසර ගණනාවක් තිස්සේ, කල්පිටිය පොලිසිය ස්ථාපනය කිරීමට සුදුසු රජයේ ඉඩමක් යෝජනා කර තිබෙනවා. උසාවි සංකිර්ණයට ඉදිරියෙන් පිහිටි එම යෝජිත ඉඩම ලබා දෙන ලෙසට වගකිවයුතු පාර්ශවයන්ගෙන් ඉල්ලා තිබෙනවා. එසේ නොමැති වුවහොත් කල්පිටිය පොලිසිය නොරොච්චෝල පොලිස් ස්ථානය වෙතටම ගෙන යන්න වේවි" යැයිද පොලිස් අධිකාරී ජේ.ඒ.චන්ද්‍රසේන මහතා කීය.
 
අප මෙම පොලිසියේ යෝජිත ඉඩම පිළිබඳව කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතා පැවසුවේ එම රජයේ ඉඩමට පෞද්ගලික පාර්ශව දෙකක් අයිතිය ඉල්ලා නඩු පවරා ඇති බවත්, රජයේ අයිතිය තහවුරු කිරීමට තව කලක් ගත්වන බැවින් වෙනත් ඉඩමක් හෝ ලබා දීමට පියවර ගනිමින් සිටින බව ය.