කොළඹ--මහනුවර මාර්ගයේ කළගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථ රියැදුරකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී අධිකරණයට බාරවූ පෞද්ගලික පන්ති පවත්වන ගණිත ගුරුවරයකු වන දිනේෂ් නුවන් අමරතුංග නමැත්තා ඇතුළු සිවුදෙනකු ලබන 29 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයේ තැබීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය ඊයේ (22) නියෝග කළාය.
මෙසේ රිමාන්ඞ් බාරයට පත් කෙරුණු සෙසු සැකකරුවන් වූයේ ඉන්දුල ශ්‍රී සම්පත්, සහන් අකලංක හා ඉන්දු සම්පත් බණ්ඩාර යන තිදෙනාය. මෙම සැකකරුවන් තිදෙනා ද අධිකරණයට බාර වූයේ නීතිඥයකු මාර්ගයෙනි.
මෙම සිද්ධියට සම්බන්ධයෙන් රිමාන්ඞ්ගතව සිටි ගාමිණී විජේසූරිය, ගීත් ප්‍රසන්න බණ්ඩාර, මාකර්ස් පීටර් රුවන් ප්‍රසන්න සහ සඳුන් පුෂ්පකුමාර යන සිවුදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ (22) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදී ඔවුන් ද ලබන 29 තෙක් රිමාන්ඞ් බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
ප්‍රභූ රැකවලුන්ගේ ඇඳුම්වලට සමාන ඇඳුම්වලින් සැරැසී ඩිෆෙන්ඩර් රථයකින් හා ප්‍රාඩෝ රථයකින් පැමිණි පිරිසක් පසුගිය 16 වැනිදා කළගෙඩිහේනේදී මෙම ප්‍රහාරය සිදුකළ බව අධිකරණයේදී කියැවිණි.
ප්‍රහාරයට ගොදුරු වූ තැනැත්තා පවුලේ සාමාජිකයන් ද සමග සිය වෑන් රථය පදවාගෙන යමින් සිටියදී ඩිෆෙන්ඩර් රථයට සහ ප්‍රාඩෝ රථයට ඉස්සර කිරීමට ඉඩ නොදුන්නැයි උරණ වී සිදුකළ මෙම පහරදීම පිළිබඳව රූප රාමු සහිතව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග වැඩ බලන පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්වීමට කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයට නියම කළේය.
ඒ අනුව කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වමින් සිටියදී සැකකරුවන් සිවුදෙනකු පසුගිය 20 වැනිදා කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයට බාරවූහ. ඔවුන් එදින අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඊයේ (22) වනතුරු රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබූ අතර එදිනට ඔවුන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන්නැයි ද නියෝග කළාය.
මෙම පැමිණිල්ල ඊයේ (22) යළි කැඳවූ අවස්ථාවේ රිමාන්ඞ්ගතව සිටි සැකකරුවන්ට චෝදනා පත්‍රය ඉදිපත් කෙරුණු අතර ඔවුන් වරද පිළිගැනීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති නිසා හඳුනා ගැනීමේ පෙරෙට්ටුව අවලංගු කරන්නැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
මේ අනුව නඩුව පසුවට කල් තබා නැවත කැඳවූ අවස්ථාවේ සැකකරුවෝ අටදෙනාම අධිකරණයේ පෙනී සිටියහ.
මෙහිදී කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ උපපොලිස් පරීක්ෂක එස්.පී.ඩී.ජේ. නිශාන්ත මහතා කරුණු දක්වමින් මෙසේ ද කීය.
“මෙම සිද්ධිය මුළු රටේම මහත් ආන්දෝලනයට පත්වූ සිද්ධියක් මෙන්ම සාමකාමී පුරවැසියන්ට මහමඟ ගමන් කිරීමේ අයිතිය නැති කිරීමේ සිද්ධියක්. සැකකරුවන්ගේ ප්‍රහාරයට ලක්වූ වෑන් රථයේ කුඩා දරුවන් පවා සිටියා. එයින් ඔවුන් දැඩි භීතියකට හා කම්පනයකට පත්වූ බව පරීක්ෂණවලදී හෙළි වුණා. මෙය මහ දවල් සිදු කළ අපරාධයක්. එය විද්‍යුත් මාධ්‍ය මගින් පවා දැක ගන්න ලැබුණා. මේ අනුව මුළු රටම මේ දෙස බලා සිටිනවා. විශාල පිරිසක් බලා සිටියදී තමයි මේ අපරාධය සිදුකර තිබෙන්නේ. මෙහි පරීක්ෂණ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර නැහැ. මේ තත්ත්වය යටතේ මේ සැකකරුවන් ඇප මත මුදාහැරීමට විරුද්ධ වෙනවා.”
සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අජිත් පතිරණ මහතා කරුණු දක්වමින් අධිකරණයට බාරවූ සැකකරුවන් සිවුදෙනා වාහනවල සිටියා මිස ඔවුන් එළියට බැස්සේවත් නැතැයි කියා සිටියේය.
මේ සිද්ධිය වී තිබෙන්නේ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට යන අතරතුරේදී යැයි ද මේ අතර නීතිඥවරයකුත් සිටින බව ද නීතියට ගරු කරන්නන් වශයෙන් ඒ අවස්ථාවේ නිට්ටඹුව පොලිසියටත් දැනුම්දීමක් කළ විට පොලිසියට පැමිණිල්ලක් නැහැ කියා පිළිතුරක් ලැබී ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා පැවැසීය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ යසස් ද සිල්වා මහතා කරුණු දක්වමින් මෙම අපරධය සිදු කළ අවස්ථාවේ වෑන් රථයේ සිටි කුඩා දරුවන් මේ වනවිටත් දැඩි කම්පනයකින් පසුවන බව කීය.
දෙපාර්ශ්වය වෙනුවෙන් ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් අටදෙනා ලබන 29 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයේ තැබීමට නියෝග කළාය.
සැකකරුවන් වෙනුවෙන් හරිත් හෙට්ටිආරච්චි, සමිතලාල් කොඩිසිංහ හා රුක්මන් සිල්වා යන නීතිඥවරුන් සමඟ ජනාධිපති නීතිඥ අජිත් පතිරණ මහතා පෙනී සිටියේය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ යසස් ද සිල්වා මහතා පෙනී සිටියේය.
කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී උදය හේමන්ත මහතාගේ උපදෙස් පරිදි එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක එරංග ප්‍රනාන්දු හා උපපොලිස් පරීක්ෂක එස්.පී.ඩී.ජේ. නිශාන්ත යන මහත්වරු පැමිණිල්ල මෙහෙය වූහ.

