කරාපිටියේ වෛද්‍යවරයෙක් හා සුළු සේවකයෝ ගැටෙති


(ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලකද සිල්වා සහ ඩී.ජී.සුගතපාල)

කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු හා රෝහල් සුළු සේවකයන් අතර ඇති වූ උණුසුම් තත්වයට හේතු වූ විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න යැයි ඉල්ලමින් රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් අද (17) සවස වැඩවර්ජනයක් ආරම්භ කළේය.

සෞඛ්‍ය සේවකයන් ඊයේ (16) පැවැත්වූ ‍ වැඩවර්ජනය හේතුවෙන් කුපිත වූ විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍යවරයා අද(17) පෙරවරුවේ රෝහල් කණිෂ්ඨ මණ්ඩලයේ සේවකයන්ට බැන වැදී ආරවුලක් ඇති කර ගැනීම සහ එක් සේවිකාවකට පහරදීම හේතුවෙන් වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට බලකරමින් මෙම වර්ජනය ආරම්භ කර තිබේ.

රෝහල් අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ රෝහල් අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂවරු සහ අනෙකුත් වෛද්‍යවරු එකතු වී උදෑසන ඇති වූ මෙම තත්වය සමථයකට පත්කළ බවයි. ඉන් පසු වෛද්‍යවරයා අධ්‍යක්ෂ කාර්යාලයේ රැඳී සිට පිටව ගොස් තිබිණි.

සවස නැවත විශේෂඥ වෛද්‍ය ක්‍රිෂන්ත පෙරේරා මහතා පිළිකා ඒකකයට පැමිණ ඇති අතර එම අවස්ථවේ දී හදිසි ප්‍රතිකාර ඒකකයේ සිට වාට්ටුවට රෝගියකු රැගෙන එමින් සිටි කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවිකාවක දුටු ඇය සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇයට පහර දී ඇතැයි රෝහල් සේවකයෝ කියති.

පහරකෑමට ලක්වූ එම සේවිකාව මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රථිකාර ඒකකයට ඇතුළත්ව ප්‍රතිකාර ලබයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් සේවකයන් පිරිසක් කරාපිටිය ශික්ෂණ රෝහලේ පිහිටි රෝහල් පොලිසියට පැමිණිල්ල කිරීමට උත්සාහ ගෙන ඇතත් රෝහල් පොලිසිය එම පැමිණිල්ල සටහන් කරගෙන නැත. මේ නිසා රෝහලේ සේවක සේවිකාවන් පිරිසක් ගාල්ල මූලස්ථාන‍ෙ පොලිසියට වෙත පැමිණිල්ලක්‍ ගොනුකිරීම සඳහ‍ා ගොස් තිබිණි.

වෛද්‍ය ක්‍රිෂන්ත පෙරේරා මහතා පවසන්නේ වැඩ වර්ජනය නිසා නොපැමිණි වාට්ටු කාර්ය මණ්ඩලය ‍ෙ පිළිබඳ තමන් දැනුම්වත් නොකිරීම නිසා සැත්කම් ආදිය ප්‍රමාද වූ බවයි. මෙම හේතුව නිසා ගැටලුවක් ඇති වූ බව ද වෛද්‍යවරයා පවසයි.