කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා රෝහිණී


ඇමෙරිකාවේ ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ උප ජනාධිපති අපේක්ෂක සෙනට් සභික කමලා හැරිස් මහත්මියගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ ජ්‍යෙෂ්ඨ උපදේශකවරිය වශයෙන්  ශ්‍රී ලාංකික සම්භවයෙන් යුතු රෝහිණී ලක්ෂ්මි රවින්ද්‍රන් කොසොග්ලු මහත්මිය කටයුතු කරන බව ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවිය වාර්තා කරයි.

ලබන නොවැම්බර් 3 වැනිදා ඇමෙරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය.

ඉකුත් 11 වැනිදා ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් මහතා, තම උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස නම් කළ කමලා හැරිස් මහත්මියගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස රෝහිණී පත්වී ඇත්තේ 2018  වසරේදීය. එම පත්කිරීමත් සමඟ, ඇමෙරිකානු සෙනට් සභිකයෙකු වෙනුවෙන්  සේවය කරන, සිව්වැනි දකුණු ආසියානු කාන්තාව බවට පත්වූයේ  රෝහීණී කොසොග්ලු මහත්මියයි.

රෝහිණී කොසොග්ලුගේ දෙමව්පියන් වන්නේ වෛද්‍ය විජයදේවේන්ද්‍රම් රවින්ද්‍රන් සහ ශෝභනා රවින්ද්‍රන්ය. ඔවුහු 1980 දශකයේ මුල් භාගයේදී  යාපනයේ සිට ඇමෙරිකා එක්සත් ජනාපදයට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයෝ වෙති.
රෝහිණීගේ පියා වූ වෛද්‍ය විජයදේවේන්ද්‍රම් රවින්ද්‍රන් මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපන ලැබූවෙකු වන අතර කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධියද ලබා ගත් අයෙක් ද වේ. වෛද්‍ය රවින්ද්‍රන් මහතා වසර 46 ක් තිස්සේ ඇමෙරිකාවේ නිව්ජර්සිහි කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කළ අයෙකි.

එම යුවළට දාව නිව්ජර්සිහීදි උපත ලැබූ රෝහිණී කොසොග්ලු සියලු අධ්‍යාපන සුදුසුකම් සපුරා ගනු ලැබුවේද ඇමෙරිකාවෙනි. ඇය මිචිගන් විශ්වවිද්‍යාලයෙන් සහ ජෝර්ජ් වොෂින්ටන් විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලබා ගනු ලැබුවාය. සිය විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතරතුර ඇය මිචිගන් සෙනෙට් සභික ඩෙබී ස්ටේබෙනෝ වෙනුවෙන් සේවය කළ කාලයේදී තැපැල් හා ලිපි කටයුතු බාර කළමනාකාරවරියක ලෙසින් දේශපාලන සම්බන්ධීකරණ ලේකම්වරියක ලෙස ක්ෂේත්‍රයට අවතීර්ණය වූවාය.

ඇය තම උපාධිය සම්පූර්ණ කර ගැනීමෙන් පසුව ඇමෙරිකා සෙනෙට් සභික ස්ටේබෙනෝ මහතාගේ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති උපදේශිකාවක ලෙසද කටයුතු කළාය. පසුව ඇය කොලරාඩෝ සෙනෙට් සභික මයිකල් බෙනට් මහතාගේ  ජ්‍යෙෂ්ඨ සත්කාර සේවා උපදේශක ලෙස ද සේවය කරමින්, ඔබාමා කෙයාර් නැමැති ඇමෙරිකා පුරවැසියන් සඳහා දැරිය හැකි මිලකට සෞඛ්‍ය සත්කාර ලබාදීමේ පනත සම්බන්ධයෙන්ද ඇය කටයුතු කළ තැනැත්තියක බවද ඒෂියන් ට්‍රිබියුන් වාර්තාවේ දැක්වේ.
කොලරාඩෝ සෙනෙට් සභික මයිකල් බෙනට්ගේ  කාර්යාලයේ වසර 7 පුරා සේවය කළ ලාංකික සම්භවයකින් යුතු රෝහිණී කොසොග්ලු, සෙනෙට් සභිකයෙකු ලෙස 2018 වසරේදී අලුතින් තේරී පත් වූ කමලා හැරිස්ගේ  කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුර දක්වාම පැමිණියාය.

එවකට එක්සත් ජනපද සෙනෙට් සභිකයෙකුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරක් හෙබ වූ එකම ඇමෙරිකා‐ආසියා කාන්තාව බවටද රෝහිණී පත් වූවාය. කෙසේ වෙතත් එවකට කමලා හැරිස් මහත්මියගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස රෝහිණී පත් කරනා විට සෙසු ඩිමොක්‍රටික් පක්ෂ සඟයින් විසින් ඇයගේ පත්වීම ගැන නොසතුටු වී ඇත්තේ ඇමරිකා ජාතික කාන්තාවන් රැසක් එම අවස්ථාවේදී පක්ෂයේ සිටීම හේතුවෙනි.

කමලා හැරිස් ඩිමොක්‍රටික් පක්ෂයේ උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස පත් කිරීමත් සමඟ ට්විටර් පණිවිඩයක් නිකුත් කළ රෝහිණි කොසොග්ලු මහත්මිය, “ මෙය ඓතිහාසික අවස්ථාවක්. එය බොහෝ දෙනෙකු සමඟ බෙදා ගැනීමට හැකිවීම ගැන ආඩම්බර වෙනවා. තව දින 84 යි ” යනුවෙන් සඳහන් කර තිබිණි.

රෝහණී මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂයේ උප ජනාධිපති අපේක්ෂිකාව වූ කමලා හැරිස්ගේ ජයග්‍රහණ භූමිකාව වෙනුවෙන් සැලකිය යුතු වැඩ කොටසක් ඉටු කරන්නියක වන අතර ඇය කමලා හැරිස්ගේ ජයග්‍රහණය වෙනුවෙන් වියදම් කිරීමට නියමිත ඇමෙරිකා ඩොලර් මිලියන 40 ක මුදලක් කළමනාකරණය කිරීම, විවාද රැස්වීම පැවැත්වීම, ප්‍රතිපත්ති සැකසීම, සන්නිවේදනය ඇතුළු  මෙහෙයුම් සිදුකිරීම මෙන්ම ඒ වෙනුවෙන් කැපවෙන 300කට අධික කාර්ය මණ්ඩල සාමාජිකයින් කළමනාකරණය කිරීම රෝහිණීගේ කාර්ය භාර්යය වේ.
යම් හෙයකින් එළැඹෙන නොවැම්බරයේදී ජෝ බයිඩන් මහතා , ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුවහොත් එරට ප්‍රථම ආසියානු ‐ඇමෙරිකානු සම්භවයක් ඇති කාන්තාවක ලෙස කමලා හැරිස් මහත්මිය උප ජනාධිපති ධූරයට පත්වන අතර,  ශ්‍රී ලාංකික සම්භවයෙන් යුතු කාන්තාවකට ඇමෙරිකාවේ උප ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කිරීමටද අවස්ථාව ලැබෙනු ඇත.

(125)