(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ ආකාරය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එම බැංකුවේ හිටපු අධිපතිවරුන් සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරුන් ඇතුළු ඒවායේ ප්‍රධානීන් සියලු දෙනා මේ මස අග පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් ) හමුවට කැඳවීමට තීරණය කර ඇත.
මේ අනුව මේ පිරිස ලබන 19, 20, 21 සහ 22 යන දිනවල එම කමිටුව හමුවට මෙසේ කැඳවෙනු ඇත.
මේ අතර කෝප් කමිටුව විසින් කරනු ලබන නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ ක්‍රියාමාර්ග ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කරන බව එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවැසීය.
ඔහු මෙසේ පැවසූවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉකුත් 4 වෙනිදා පැවති පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමේදීය.
කෝප් කමිටු විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධ මෙහිදී සමාලෝචනය කෙරිණ.
මෙම කමිටුවේදී අදහස් දැක්වූ කෝප් කමිටු සභාපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම, ශ්‍රී ලංකා මහ බැංකුව, රාජ්‍ය දැව සංස්ථාව, මහජන බැංකුව, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතනය ඇතුළු ආයතන කිහිපයකට අදාළ තීරණ පිළිබඳ විශේෂ වාර්තාවක් නිකුත් කරන බවයි.
මෙම ආයතන සම්බන්ධයෙන් ලබාදුන් ඇතැම් නිර්දේශවලට අදාළව ඇතැම් වාර්තා ඒ ආයතනවලින් කාරක සභාවට තවමත් ලබාදී නැති බවට ඔහු චෝදනා කළේය.
මෙහිදී සාමාජික මන්ත්‍රීවරුන් පැවසූවේ කමිටුවේ තීරණ ක්‍රියාත්මක නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවයි.
ඒ සඳහා පාර්ලිමේන්තුව සහ කාරක සභාව තවදුරටත් මැදිහත් විය යුතු බවද ඔවුහු පෙන්වා දුන්හ.
විශ්ෂයෙන්ම පාර්ලිමේන්තු කමිටු මාධ්‍ය සංදර්ශනයක් හෝ කතා පෙට්ටියක් යන තත්වයෙන් ඔබ්බට ගොස් වැදගත් කාර්යයක් ඉටු කෙරෙන තැනක් බවට පත් විය යුතු බව මන්ත්‍රීවරු සඳහන් කළහ.
එසේම ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය ජනනය කිරීම්, මිලදී ගැනීම්, බෙදාහැරීම් සහ ව්‍යාපෘති පිළිබඳව සොයාබැලීමට කෝප් කමිටුව ලබන මස 02,03,04,05 දිනවල විශේෂයෙන් රැස්වීමටද තීරණය කර ඇත.
මීට අමතරව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කටයුතු පිළිබඳව විමසීම සඳහා එහි ප්‍රධානීහුද කෝප් කමිටුව හමුවට අද (7) කැඳවෙති.
මෙම කාරක සභා රැස්වීමට අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මහින්දානන්ද අලුත්ගමගේ, ඉන්දික අනුරුද්ධ, (ආචාර්ය) හර්ෂ ද සිල්වා, පාඨලී චම්පික රණවක, එස්. එම්. මරික්කාර්, නලීන් බණ්ඩාර, ප්‍රේම්නාත් සී දොලවත්ත සහ මධුර විතානගේ යන මහත්වරුද සහභාගී වූහ.