කප්පම්කරුවෝ 6 ක් එස්ටීඑෆ් දැලේ


(ඉන්දිකා රාමනායක)


රණාල, ජල්තර, ඇඹුල්ගම හා නවගමුව යන ප‍්‍රදේශවල පුද්ගලයන් බියකර කප්පම් ගැනීමේ නිරත සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන අංගොඩ ලොක්කාගේ හා ඌරුජුවා හා ඉන්ද්‍රා නැමැත්තන්ගේ ගෝලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.


මොවුන් සතුව තිබී හොරොයින්, කේරළ ගංජා, කඩුවක්, ව්‍යාජ අංක තහඩු තුනක්, පොලිසිය රාත්‍රී කාලයේ රථවාහන නැවැත්වීම සදහා භාවිතා කරන සංඥා මුගුරක්, ජංගම දුරකතන තුනක් භට පිරිස් බාරයට ගෙන ඇත.


විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන්,  සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක 1- 2 හි  නිලධාරීන්  එක්ව මෙම ප‍්‍රදේශ වටලා  නිවෙස් පරීක්ෂා කිරීමේ දී  සැකකරුවන්  අත්අඩංගුවට ගනු ලැබ ඇත.


අත්අඩංගුවට ගත් සැකකරුවන්  අතරින් කිහිප දෙනකු ඝාතන රැසකට හා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් බවද විශේෂ කාර්ය බළකාය පවසයි.


ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන්  හා පුද්ගලයක්  බියගන්වා මෙම සංවිධනාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්   මහපරිමාණයෙන් කප්පම් ලබා ගන්නා  බවත්,  දිගින් දිගටම සිදුකරන  මෙම  කප්පම් ගැනීම් හා ජාවාරම්  නවතා දැමීම සඳහා ප‍්‍රදේශය පුරා මෙම මෙහෙයුම්   සිදුකරන බවද  විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. 


අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සදහා නවගමුව හා හංවැල්ල පොලිස් ස්ථාන වෙත බාර දී ඇත.