(එම්. කේ. නන්දසේන)
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය නිමිත්තෙන් අතිරේක රාජකාරි සඳහා පැමිණෙන පොලිස් නිලධාරීන්ට නවාතැන් සැපයීම වෙනුවෙන් කතරගම ප්‍රදේශයේ සියලු පාසල් වසා තැබීමට ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
මේ අනුව කතරගම ජාතික පාසල, ශෂීන්ද්‍ර රාජපක්ෂ ප්‍රාථමික විදුහල, දෙටගමුව මහා විදුහල, ගෝතමීගම කනිෂ්ඨ විදුහල හා සෙල්ල කතරගම මහා විදුහල හෙට (02) පස්වරුවේ සිට තංගල්ල පොලිස් අධිකාරිවරයාට බාරදීමට නියමිතය.
මෙලෙස වසා තබන පාසල් ඇසළ පෙරහර මංගල්‍යය නිමාවීමෙන් පසු ජූලි 18 වෙනි දින යළි විවෘත කිරීමට පියවර ගන්නා බව කතරගම ජාතික පාසලේ විදුහල්පතිනි ශ්‍රියාණි කහඳගමගේ මෙණෙවිය කියාසිටියාය.
දූ දරුවන් ඉගෙන ගන්නා මෙම පාසල් ගොඩනැගිලි තුළ ඇති සියලු සම්පත් ඉතා ප්‍රවේශමෙන් ආරක්ෂා කළ යුතු බවත්, කිසිදු ආකාරයක හානියක් ඇති නොවීමට වග බලා ගන්නා ලෙසත් මෙම පාසල් ගොඩනැගිලි තුළ නවාතැන් ලබා ගන්නා සියලු පොලිස් නිලධාරීන්ගෙන් කාරුණික ආයාචනය කරන බවද විදුහල්පතිනිය පැවසුවාය.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය අනිද්දා (03) ආරම්භ වන අතර, ලබන 16 වැනිදා මහ පෙරහැර පවත්වා 17 දින මැණික් ගඟේ දිය කැපීමෙන් පසු පෙරහර මංගල්‍යය නිමාවට පත්වේ.

