කතරගම රක්ෂිතයේ දඩයමේ ගිය 5ක් ගිනි අවි සමඟ අල්ලයි


(දිලීප් ජයසේකර)
 
කතරගම නාගහවිදියේ රක්ෂිත ප්‍රදේශයේ දඩයමේ ගිය පුද්ගලයන් පස්දෙනෙකු ගිනි අවි සමඟ අද(08) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීහු පවසති.
 
අත්අඩංගුවට ගෙන  ඇති පිරිස කතරගම නාගහවිදිය හා ගෝතමීගම පදිංචි 55, 30, 35, 35 හා 24 වයස්වල පසුවන්නෝය.
 
තංගල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරී ලක්සිරි ගිතාල් මහතා ලද තොරතුරකට මෙම වැටලීම කර තිබේ.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී කතරගම අවට පවතින හෝටල්වලින් මේ දිනවල දඩමස් සඳහා දැඩි ඉල්ලුමක් පවතින බැවින් දඩයමේ යෙදුණු බව පවසා ඇත.
 
මෙම සැකකරුවන් පස්දෙනා මීට පෙරද දඩයමේ යමින් සිටියදී අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගෙන ඇති පුද්ගලයින් බවද පොලිසිය පවසයි.
 
සැකකරුවන් කතරගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.