(මනෝප‍්‍රිය ගුණසේකර)
කොටුව දුම්රිය ස්ථානයේ දී බීමතින් කාන්තාවකගේ ඇගේ හැපී ඇගේ හිරිඔතප් බිඳීමේ චෝදනාවන්ට වරද පිළිගත් පොලිස් කොස්තාපල්වරු දෙදෙනකුට වසර බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එම කාන්තාවට රුපියල් ලක්‍ෂ 2ක වන්දි මුදල් ගෙවීමට ද නියම කළේය.
විත්තිකරුවන්ට නියම කළ වසර බැගින් වූ බරපතල වැඩ සහිත සිරදඬුවම් කාලය වසර 5 ක කාලයක් දක්වා අත්හිටුවීමට නියම කළ විනිසුරුවරයා රුපියල් 2500/- බැගින් රජයේ ගාස්තු ගෙවීමට ද එම පොලිස් කොස්තාපල්වරු දෙදෙනාට නියම කළේය.
පොලිස් මුලස්ථානයේ රාජකාරී කරන පොලිස් කොස්තාපල්වරු දෙදෙනකුට මෙලෙස දඬුවම් නියම කෙරුණු අතර ඔවුන්ට නියම කළ වන්දි මුදල් හා රජයේ ගාස්තු නොගෙවුවහොත් අමතර වසර 2 1/2ක සිරදඬුවමක් ද විත්තිකරුවන්ට නියම කෙරිණි.
2011 ජුලි මස 9 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොටුව දුම්රිය ස්ථානය තුළදී බීමත්ව කාන්තාවකගේ ඇගේ හැපී ඇගේ හිරිඔතප් බිඳින ලද බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා ඉදිරිපත් කර තිබිණි.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි විත්තිකරුවන් චෝදනාවන්ට වරද පිළිගත්හ.
ඒ අනුව විත්තිකරුවන්ට අදාළ දඬුවම් නියම කළ විනිසුරුවරයා ඔවුන්ගේ ඇඟිලි සළකුණු ලබා ගැනීමට ද නියම කළේය.

