කඩුවෙල සභාව ලංකාවේ ප්‍රථමවරට කසළවලින් විදුලිය උපදවයි


(ගයාන් සූරියආරච්චි)

ලංකාවේ ප්‍රථමවරට රාජ්‍ය ආයතනයක් විසින් දිරාපත්වන කසළවලින් විදුලිය ජනනය කර ජාතික විදුලිබල පද්ධතියට එකතුකිරීමේ ‘දිරාපත්වන කසළවලින් විදුලිය’ ව්‍යාපෘතියේ සමාරම්භක උළෙල මෙම 21 දා පස්වරු. 3.00 ට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කඩුවෙල වෙලේහන්දිය ‘රන්පැලැස්ස’ කසළ කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

කසළවලින් නිපදවෙන ජීවවායු උපයෝගී කරගෙන උත්පාදනය කරන විදුලිය කිලෝ වොට් 35 ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීම එදින සිදුකෙරේ.

කඩුවෙල මහ නගර සභා බලප්‍රදේශය තුළ දිනකට කසළ ටොන් 100 කට ආසන්න ප්‍රමාණයක් එකතු කෙරෙන අතර ඉන් දිරාපත්වන කසළ ටොන් 10 කින් පමණ ජීවවායු නිපදවා එමගින් විදුලිය උත්පාදනය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්යයවේ.

කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතාගේ සංකල්පයකට අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණු අතර එම ව්‍යාපෘතිය පිළිබඳව ජයවිලාල් මහතා මෙසේ ‘විදුසෙවණ’ට අදහස් පළකළේය. 

“දිනකට කඩුවෙල නගර සභා බලප්‍රදේශයෙන් කසළ ටොන් 100 ක් පමණ එකතු වෙනවා. ඉන් දිරාපත්වන කසළ ටොන් 45 ක් පමණ වෙන් කෙරෙනවා. දැනට අප පවත්වාගෙන යන කසළ කළමනාකරණ මධ්‍යස්ථානය සිදුකෙරන කසළ කළමනාකරණ ක්‍රියාවලියට අමතරව එම දිරාපත්වන කසළවලින් ජීව වායු නිපදවා එමගින් විදුලිය උත්පාදනය කිරීමට පෙර සිටම අප සැලසුම් කර තිබුණා. 

වර්තමානය වනවිට පවතින විදුලි අර්බුදයට හොඳ පිළියමක් ලෙස මෙම ව්‍යාපෘතිය අපට ක්‍රියාවට නඟන්න මෙය මහඟු අවස්ථාවක් වුණා. කසළ ටොන් 10 ක් පමණ දිරාපත්වීමට සලස්වා එමගින් නිපදවෙන ජීවවායු ටැංකිවල තැන්පත් කර එම  ජීව වායුවලින් විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කර විදුලිය උපදවීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්යයි. 
මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සදහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන කමිටුව (යූ.එන්.ඩී.බී.)  මගින් උපදේශන සේවා අපට සැපයීම සිදුකළා. පසුව කඩුවෙල නගර සභාවේ ප්‍රතිපාදනවලින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට අප තීරණය කළා. මෙම ව්‍යාපෘතියට රුපියල් මිලියන 200 ක් පමණ අප වැය කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය මගින් ජනතාවට වාසි දෙකක් අත්වෙනවා. සාමාන්‍යයෙන් නගරසභා බලප්‍රදේශයේ කසළ එකතු කිරීම සඳහා ජනතාවගෙන් අපි මුදලක් අයකරනවා. මෙම ව්‍යාපෘතිය මගින් එම අයකිරීම් නතර කිරීමට බලාපොරොත්තු වන අතර අප විසින් උත්පාදනය කරන විදුලිය ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමෙන් පසුව එමගින් අපට ලැබෙන මුදල සභාවේ විදුලි බිලෙන් අඩුකිරිම සිදුකෙරෙනවා.  

අනෙක් කාරණාව නම් නගරයේ කසළ කඳු ගොඩගැසීම අප නැත්තටම නැති කර තියෙනවා. ඒ වගේම කසළ එකතු කරන මුදලාලිලාට මුදල් වැය කිරීමට සිදුවීම ද නවත්වා විශාල මුදලක් ඉතිරි කරගෙන තියෙනවා. ඊට අමතරව අප විසින් නිපදවන ජීවවායු ගෑස් ගෘහස්ථ අවශ්‍යතා සදහා අවට ජනතාවට නළ මාර්ගයෙන් ලබාදීමටත් අප ඉදිරියේදී කටයුතු කරනවා.    

අප සිදුකළ අත්හදාබැලීම්වලට අනුව පැහැදිලි වන්නේ කසළ ටොන් 10 කින් ඉතා සාර්ථකව විදුලිය උත්පාදනය කිරීමට හැකියාව ඇති බවයි. ඒ අනුව ඉදිරියේදී එය කසළ ටොන් 20 ක් දක්වා වැඩි කිරීමටත් වැඩි විදුලි ඒකක ප්‍රමාණයක් නිපදවීමටත් අපි බලාපොරොත්තු වෙනවා. 

මෙම ව්‍යාපෘතියට අමතරව මාසයකට ටොන් 35 ක පමණ කාබනික පොහොර නිපදවීම සිදුකරන අතර ප්‍රදේශයේ ගොවි ජනතාවට සහන මිලකට ලබාදීම සිදුකරනවා. ඊට අමතරව ඉවත දමන පොලිතින් නිසියාකාරව ඇසුරුම් කර සිමෙන්ති නිපදවන සමාගම්වලට ලබාදී සභාවට ආදායම් ඉපැයීම ද සිදුකරනවා.” යැයි ජයවිලාල් මහතා පැවැසීය.