( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
2019 වසරේ අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ සමයේදී කඩු 6000ක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශන සිදුකිරිම ට පොලිස්පතිවරයාගේ නියෝගයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නායකත්වයෙන් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබෙන බව නීතිපතිවරයා අද (31) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
එම සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකරන්නැයි ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ගොනුකරන ලද රිට් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය එම දැනුම් දීම සිදුකළාය.
එම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේ එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.
එම පරීක්ෂණ කටයුතු විධිමත් කිරීම සඳහා පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි සහකාර පොලිස් අධිකාරීවරයෙකු ගේ නායකත්වයෙන් යුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබෙන බවද රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නාය.
මේ බව තහවුරු කෙරෙන පොලිස්පතිවරයාගේ ලිපියක් ද ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.
ඒ අනුව එම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද? නැද්ද? යන කාරණය පිළිබඳව පෙත්සම්කරුගෙන් විමසා ලබන මැයි මස 06 වනදා අධිකරණයට දැනුම් දෙන්නැයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාට දැනුම් දුන්නේය.

