
(ටී.කේ.ජී.කපිල )
කටුනායක සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ කොරෝනා ආසාදිතයන් 57 දෙනෙකු අද (13) හඳුනා බව එම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .
ඒ අනුව කටුනායක සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ මේ වනවිට, එනම් අද (13) සවස 5.00 වනවිට සමස්ත කොරෝනා ආසාදිතයන් 102 ක් වාර්තා වන බව සුරේෂ් කුමාර මහතා පැවසීය .
ඔවුන් අතරින් වැඩි පිරිසක් පළමු ආශ්‍රිතයන් සහ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයින් බව ද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂවරයා සදහන් කළේය .
මෙම ආසාදිතයන් පිරිස අනාවරණය කර ගැනීම සදහා පසුගිය දෙදින තුළ පී.සී.ආර්.පරීක්ෂණ 400 ක් පමණ සිදු කළ බව ද හෙතෙම පැවසීය .
මෙසේ අනාවරණය කර ගත් ආසාදිතයන් අයි.ඩී.එච්, මුල්ලේරියාව ,හෝමාගම , ඉරණවිල සහ ලග්ගල රෝහල් වෙත මේ වනවිට යොමු කරමින් පවතින බව ද සුරේෂ් කුමාර මහතා වැඩිදුරටත් සදහන් කළේය .
මේ අතර කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සහ ඉන් පිටත පිහිටා ඇති කම්හල් තුළින් අද වනවිට කොරෝනා ආසාදිත සේවකයින් 74 දෙනෙකු වාර්තා වන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
මෙම ආසාදිත සේවකයන් අතුරින් 62 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන්නන් වන අතර ඉතිරි 12 දෙනා එම කලාපයෙන් පිටත පිහිටි කර්මාන්තශාලා වල සේවකයින් බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
එසේම ඊයේ රාත්‍රී කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් 34 දෙනෙකුගෙන් යුතු කොරෝනා ආසාදිතයන් පොකුරක් වාර්තා වූ බව එම කළාපයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඉදුනිල් සමරතුංග මහතා පැවසීය .
මෙසේ කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ ආසාදිත වී ඇති සේවකයින් අතරින් සේවිකාවන් කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙතටත් , පිරිමි සේවකයින් ඉරණවිල රෝහල වෙතටත් නීරෝධායනය සදහා රැගෙන ගොස් ඇති බව ද ඉදුනිල් සමරතුංග මහතා වැඩිදුරටත් පැවසීය .

