කටුකැලියාවේ රක්ෂිතයක් වැනසූ දෙදෙනකු අල්ලයි


( බී.ජී. චතුරංග )

අනුරාධපුර කටුකැලියාව ගල්පොත්තේගම  ප්‍රදේශයේ, යෝජිත රක්ෂිතයක් වන කටුගම්පලයාගම රක්ෂිතයේ තිබූ විශාල ප්‍රමාණයේ ගස් කපා දමමින්  මොරගොල්ලාගම වැව් රක්ෂිතයට ඇතුළු  වෙමින් සිටි සැකකරුවන් දෙදෙනකු, බැකෝ යන්ත්‍රයක්, ට්‍රැක්ටරයක් සහ කපා දමා තිබූ විශාල ප්‍රමාණයේ ගස් සහ කදන් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර අඩවි වන නිලධාරී කාර්යාලය පවසයි. 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 42 වියේ පසුවන අනුරාධපුර ගල්පොත්තේගම සහ ගල්පාලම ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකි. 

මෙම වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා විසින් කපා දමන ලද විශාල ප්‍රමාණයේ ගස්,  බැකෝ යන්ත්‍රය ආධාරයෙන් ට්‍රැක්ටරයට පටවමින් සිටි බවත් තවත් ගස් කැපීමට නියමිතව සිට ඇති බවත් ක්ෂේත්‍ර සහකාර වරයෙකු සඳහන් කළේය.

වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී දැව කඳන් පහළොවක්, වට අඩි 10ත් 15ත් අතර ප්‍රමාණයේ විශාල ගස් නවයක් සොයා ගත් බවත්, එම දැව කඳන් සහ විශාල ප්‍රමාණයේ ගස් දැව සංස්ථාවට භාර දීමට කටයුතු කල බවද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කලේය.