ඖෂධ සංස්ථාවේ ලොක්කන්ටත් කෝප් කමිටුවෙන් කැඳවීමක්


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ  සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයීම් අංශයේ  ප්‍රධානීහු  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට( කෝප් කමිටුව) අද (30) පෙරවරු 10.00 ට  කැඳවනු ලැබ සිටිති.

ආයතනවල  කාර්යසාධනය  විමසීම සඳහා එම ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට මෙසේ කැඳවීමට තීරණය කළ  බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා  පැවසීය.

එම ආයතනවල සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා ගණනාවක් පිළිබඳවද   පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කාලයක පෙර සිට තොරතුරු අනාවරණයවී  තිබිණ.මේ අනුව  ඒ අක්‍රමිකතා සම්බන්ධයෙන්  එහි ප්‍රධානීන්ගෙන් වහාම  කරුණු විමසිය යුතු බවට   කෝප් කමිටුව පසුගියදා තීරණය කළේය.

මේ අතර රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු එහි ප්‍රධානීන් පිරිසක් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට පසුගිය සතියේදී කැඳවා  කරුණු විමසන ලදී.

රටේ ආර්ථිකය කඩා වැටීමට වගකිව යුතු අය හඳුනාගෙන ක්‍රියාමාර්ග ගැනීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා එම සාකච්ඡාවෙන් පසු  කතානායකවරයාගෙන්  ඉල්ලීමක් කළේය.