ඕස්ට්‍රේලියානු රජයෙන් මානුෂීය ආධාර


(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ දැඩි අවදානමට ලක් වූ ජනතාව සඳහා ආහාර සහ වෛද්‍ය සැපයුම් ඉක්මණින් සැපයීමට ඕස්ට්‍රේලියානු රජය හදිසි මානුෂීය සහාය ලෙස තවත් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 25 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 90.8)ක මුදලක් ප්‍රදානය කිරීමට තීරණය කර ඇතැයි සිඩ්නි මොර්නින්ග් හෙරල්ඩ් වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.

ඕස්ට්‍රේලියාව ශ්‍රී ලාංකිකයන්, විශේෂයෙන් දැඩි අවදානමට ලක්වූ පිරිස් සමඟ සැමවිටම සිටින බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ නැවත පණ ගැන්වීම ජාතික අවශ්‍යතාවයක් ලෙස ඕස්ට්‍රේලියානු රජය දකින බවත් ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.

ජීවන තත්ත්වය පිරිහීම හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් පැමිණීමට උත්සහ කරන පුද්ගලයන් ප්‍රමාණය වැඩිවී ඇතැයි ඕස්ට්‍රේලියානු රජය පැවසුවේය.මෑතකදී පුද්ගලයන් 137 දෙනෙකු රැගත් බෝට්ටු 5 ඕස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක බලකාය අත් අඩංගුවට ගත් බවත් තවත් පුද්ගලයන් 701 දෙනෙක් රැගත් බෝට්ටු 15 ක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවට පැමිණීම වැළැක් වූ බවත් ඕස්ට්‍රේලියානු රජය පෙන්වා දුන්නේය.