ඕස්ට්‍රේලියා වෛද්‍ය උපකරණ 03 වැනි දා මෙරටට


(ඩයනා උදයංගනී)

කොවිඩ් ප්‍රතිකාර කටයුතු සඳහා ඕස්ට්‍රේලියා රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ  වෛද්‍ය උපකරණ  ලබන 03 වැනි දා මෙරටට ළගා වීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ජනාධිපති කාර්යාලයේදී අද (31) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වු අවස්ථාවේදීය.

අගය එකතු කිරීමේ නිෂ්පාදන සඳහා වැඩි ආයෝජන අවස්ථා උදාකර ගැනීමෙන් ඉන්දියාව, මැද පෙරදිග ඇතුළු රටවල් රැසක් ඉලක්ක කරගත් අපනයන වෙළෙඳපොළක් මෙරට ස්ථාපිත කළ හැකි බවද මහ කොමසාරිස්වරයා මෙහිදී පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ කෙටි කාලසීමාවක් තුළ මෙරට මුහුදු සීමාවේදී සිදුවූ නෞකා අනතුරු හේතුවෙන් සිදුවන පරිසර හානිය තක්සේරු කිරීමට සහ කාබනික පොහොර මත පදනම් වු කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් රජය දියත් කර ඇති වැඩපිළිවෙළට ඕස්ට්‍රේලියානු රජයේ තාක්ෂණික සහාය අපේක්ෂා කරන බවයි.

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් ආමෙයිටි බ්‍රැඩ්ලි මෙනවිය, ආරක්ෂක උපදේශක නාවුක කපිතාන් ඉයන් කෙයින් , ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.