ඔන්ලයින් ගෙවීම් ගැන ඉගෙනගන්න ගාල්ලේ නාගරික මන්ත්‍රීහු නුවරඑළියට යති


(බිඟුන් මේනක ගමගේ)

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද කොවිඩ් නිර්දේශ උල්ලංඝනය කරමින් ගාල්ල නගර සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් නුවරඑළිය ප්‍රදේශයේ තෙදින ක්ෂේත්‍ර නිරීක්ෂණ අධ්‍යයනයක් සඳහා අද(8) පිටත්ව ගොස් ඇත.

නුවරඑළිය නගර සභාව මගින් පාලනය වන ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය, මළ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය, අන්තර්ජාලය මගින් ඔන්ලයින් ගෙවීම් අධ්‍යයනය හා මොබිටෙල් ආයතනය සමග එක්ව කරන රථ නැවතුම් ගාස්තු අධ්‍යයනය කිරීම යන විෂය අධ්‍යයනය සඳහා ගාල්ල නගර සභාවේ මන්ත්‍රීවරුන් පිරිස මෙසේ පිටත්ව ඇත.

ගාල්ල මහ නගරාධිපති ප්‍රියන්ත සහබන්ධු මහතා විසින් මන්ත්‍රීවරුන් වෙත ගමනට අදාළ ආරාධනා ලිපිය යොමුකර තිබෙන්නේ පසුගිය මස 21 වැනිදාය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ගමනට සහභාගී වී සිටි ගාල්ල නියෝජ්‍ය නගරාධිපති ෆවුස් නියාස් මහතා පැවසුවේ අධ්‍යයන කටයුත්තක් සඳහා මෙම ගමන සිදුවන බවත් ⁣එවැනි සෞඛ්‍ය නිර්දේශයක් ගැන තමා දැනුවත් නැති බවත්ය.

කෙසේ වෙතත් නාගරික මන්ත්‍රීවරුන් පිරිස ගමන ආරම්භයෙන් පසුව ඊයේ දවල් ඇඹිලිපිටිය ඇත් අතුරු සෙවණ ද නිරීක්ෂණය කර තිබිණි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.ශ්‍රීධරන් මහතා පසුගිය 6 වැනිදා කොවිඩ් 2020-347 දරන නිවේදනයෙන් සියලුම ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්‍රණ, දේශන, ප්‍රදර්ශන, සැණකෙලි ඇතුළු අත්‍යවශ්‍ය නොවන රැස්වීම් සියල්ල නැවත දැනුම් දෙනතුරු දිවයින පුරාම තහනම් කර තිබේ.