ඔක්තෝබර් 14 තෙක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවීමට තීරණය කරයි


ඔක්තෝබර් 14 වැනිදා දක්වා පාර්ලිමේන්තුව අත්හිටුවනු ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් අද (28) නිවේදනය කළේය. 

එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට සති කිහිපයක් තිබියදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය මෙම පියවර ගෙන තිබෙන අතර පාර්ලිමේන්තුව අත්හිටුවන්නැයි දෙවැනි එළිසබෙත් මහ රැජිනගෙන් ඉල්ලීමක් කරන්නට යන බව ද බී.බී.සී. පුවත් සේවය වාර්තා කර තිබිණි. 

මෙම පුවතත් සමඟ බ්‍රිතාන්‍ය පවුම පහත වැටී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ මෙම ක්‍රියාමාර්ගය කුමන්ත්‍රණයක් යැයි ද යුද ප්‍රකාශ කිරීමක් යැයි ද විපක්ෂය චෝදනා කර ඇත. 

දැනට පවතින තත්ත්වය අනුව බ්‍රිතාන්‍ය ඔක්තෝබර් 31 වැනිදා යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිතය. ආණ්ඩුව පාර්ලිමේන්තුව අත්හිටුවීමට තීරණය කිරීමත් සමඟ යුරෝපා සංගමයට හිතවත් මන්ත්‍රීවරුන්ට අගමැති ජොන්සන්ගේ සැලසුම් පරාජයට කිරීමට ලැබෙන්නේ ඉතා කෙටි කාලයකි. 

කතාවක් කරමින් ඔක්තෝබර් 14 වැනිදා පාර්ලිමේන්තුව නැවත ආරම්භ කරන්නැයි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් දෙවැනි එළිසබෙත් මහ රැජිනගෙන් ඉල්ලා ඇති අතර එදිනට ඔහුගේ සැලසුම් ඉදිරිපත් කරන බවද ප්‍රංශ පුවත් සේවය වාර්තා කර ඇත. 

ආණ්ඩුවේ මෙම ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රෑරකමක් යැයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ කතානායක ජෝන් බර්කොව් කීය. 

ඒ.එෆ්.පී. ඇසුරිනි 

055