
(එෆ්.අස්ලම්)
ඒකීය රාජ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට ශාපයක් බවත් එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනවා වෙනුවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ජාතික අවශ්‍යතාවක් බව දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය.
ඒකීය රාජ්‍ය සංකල්පය මත වන වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව100 වරක් සංශෝධනය කළත් දෙමළ ජනතාවට කිසිදු සෙතක් ඉන් අත් නොවන බවද සිවාජිලිංගම් මහතා කියා සිටියේය.
19 වන සංශෝධනය අහෝසි කරමින් 20 වන සංශෝධනය ගෙන ඒම ඇතුළු කාලීන දේශපාලන තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිවාජිලිංගම් මහතා අද(21) මේ බව කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වූ සිවාජිලිංගම් මහතා මෙසේද කීය.
උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ වාර්ගික අර්බුදයට විසදුම් ලබාගැනීමට නම් රජය සමගින් හෝ රාජ්‍ය පාර්ශවය සමගින් දේශීය මට්ටමින් සාකච්ඡා කරල කිසිම වැඩක් නැහැ. දකුණේ කිසිදු සිංහල ආණ්ඩුවක් උතුරේ ජනතාවගේ අයිතිවාසිකම් දිනදීමට හෝ ඒ ජනතාවගේ ඉල්ලීම් ඉටුකරලීමට කටයුතු කළේ නැහැ.ඒ සියලු දෙනාම සිදුකරනු ලැබුවේ රැවටීම විතරයි.
මේ රටේ දෙමළ ජනතාවට ජාතික වශයෙන් නොවිසදුණු ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුව ඇත්තේ ඒකීය රාජ්‍ය සංකල්පය මත ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසයි. ඒකීය රාජ්‍ය සංකල්පය කියන්නෙ රටට ශාපයක්. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 20 පාරක් නෙවෙයි 100 පාරක් සංශෝධනය කළත් දෙමළ ජනතාවට ලැබෙන දෙයක් නැහැ.
ඒ වගේම 30 වසරක යුද්ධයක් රටේ පැවතියා.මේ යුද්ධයේදී ශ්‍රීලංකා හමුදාවේ 35,000 ක් එල්.ටී.ටී.ඊ යේ 55,000 ක් වගේම සාමාන්‍ය ජනතාවද ඇතුළු ලක්ෂ දෙකක පමණ පිරිසක් මිය ගියා.මේ යුද්ධයටත් මිනිස් ඝාතනවලටත් වගකියන්න ඕන ඒකීය රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක කළ රටේ පාලකයින්.ඒ නිසා ඒ ශාපයෙන් මිදීමට නම් ඒකීය නොවන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කළ යුතුයි.

