(සුජිත් හේවාජුලිගේ)
රජය ඇනවුම් කර ඇති එන්නත් තොගයෙන් තවත් මාත්‍රා ලක්ෂ පහක් ලබන සතියේදී මෙරටට ලැබෙනු ඇතැයි කොවිඩ් එන්නත් ගෙන්වීම පිළිබඳ ජනපති කමිටුවේ ප්‍රධානි ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා ‘ලංකාදීප’යට පැවැසීය.
මේ අතර එන්නත් මිලදී ගැනීමට රජයට මුදල් නොමැති බවට ඇතැමුන් නගන චෝදනා බොරු බවත් එන්නත් මිලදී ගැනීමට අවශ්‍ය තරම් මුදල් ලැබී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
එන්නත් ගෙන්වීමට මුදල් ප්‍රශ්න මතු වේවි යැයි තමා මුලදී සිතුවත් කිසිදු ආකාරයකින් හෝ එවැනි මුදල් ප්‍රශ්නයක් ඇති නොවුණු බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.
රජය ඇනවුම් කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් තොගයෙන් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ පහක් ලබන සතියේදී මෙරටට ලැබීමට නියමිතව ඇතැයි කී වීරතුංග මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කොවැක්ස් පහසුකම යටතේ ලැබුණු එන්නත් මෙරට වයස 60ට වැඩි පුද්ගලයින්ට ලබාදීම අරඹා තිබෙන බව ද කීවේය.
එන්නත් සම්බන්ධයෙන් සතුටුදායක තවත් ප්‍රවෘත්ති ඉදිරි දිනවල ඇසීමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ජනපති උපදේශකවරයා සඳහන් කළේය.
එන්නත් ලැබීමේ කිසිදු ප්‍රමාදයක් නැතැයි කී හෙතෙම එන්නත් තවත් තොග ඉදිරියේදී දිගටම ලැබීමට නියමිතව ඇතැයි සඳහන් කළේය.
රජය ගෙන්වූ එන්නත්වල ප්‍රතිඵල නැතැයි තවත් ඇතැමුන් ප්‍රකාශ කරනු තමාට අසන්නට ලැබුණු බවත් එය ද බොරු කතාවක් බවත් ලලිත් වීරතුංග මහතා පැවැසීය.
එන්නත් ගෙන්වීමේ කටයුතු ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක කිරීමට හැකි වූ බව ප්‍රකාශ කළ වීරතුංග මහතා එන්නත් මාත්‍රා ලක්ෂ දොළහක් පමණ මේ දක්වා ගෙන්වා ඇතැයි ද සඳහන් කළේය.

