එන්නත් කිරීමේදී ගැබිණියන්ට ප්‍රමුඛතාව


(ඩයනා උදයංගනී)

ගැබිණි මවුවරුන් සඳහා ද කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ එන්නත් පිළිබඳ මෙහෙයුම් කමිටුවේ අනුමැතිය හිමිව ඇතැයි තීරණය කර ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂිකා (මාතෘ හා ළමා සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය විත්‍රමාලිද සිල්වා මහත්මිය කියන්නීය.

ඒ සඳහා අවශ්‍ය චක්‍රලේඛ මේ වන විට සකස් කරමින් සිටින බව ද ඇය සඳහන් කරන්නීය.

මෙහිදී ගැටලු හා සංකූලතා ඇති මවුවරුන්ට ප්‍රමුඛතාව ලබාදෙන බව ද ඇය කීවාය.

මේ වන විට කොවිඩ් ආසාදිත ගර්භනී මවුවරුන් හත් දෙනකු මියගොස් ඇතැයි කී වෛද්‍යවරිය කළුබෝවිල රෝහලේ දී ඊයේ (1) දිනයේදී ද ගර්භනී කාන්තාවක් මිය ගිය බව කීවාය.

එන්නත් ලබාදීම අවශ්‍ය ගැබිනි මවුවරුන්ට එන්නත ලබාගැනීමට අදාල දිනය, ස්ථානය සහ වෙලාව පණිවිඩයක් මාර්ගයෙන් දැනුම්දීමට ඉදිරියේදී කටයුතු කරන බව ද ඇය කීවාය.

ගැබිනි මවුවරුන් කොවිඩ් රෝගයෙන් ආරක්ෂා කරගැනීම සදහා ඔවුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ගේ ද සහයෝගයෙන් මෙම සතිය පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ද වෛද්‍යවරිය සඳහන් කළාය.

අත්‍යාවශ්‍යම කටයුත්තකට හැර ගැබිනි මවුවරුන් නිවසෙන් පිටතට නොයා යුතු බව කී ඇය එසේ යාමේදී ද නිවැරදිව මුහුණු ආවරණ පැළදීම, පුද්ගලික දුරස්ථභාවය ආරක්ෂා කරගැනීම, සබන් සහ පිරිසිදු ජලයෙන් දෑත් පිරිසිදු කරගැනීම ආදී සෞඛ්‍ය මාර්ගෝපදේශ නිවැරදිව පිළිපැදීම වැදගත් බවද කීවාය.