(විනීතා එම් ගමගේ)
විදේශ රටවල තානාපති කාර්යාලවලට අනුයුක්ත කර ඇති කම්කරු සුභ සාධන නිලධාරින් ගේ සේවය අත්හිටුවා ඔවුන් මෙරටට ගෙන්වීමට කම්කරු අමාත්‍යංශය ගෙන ඇති තීරණය නිසා අලුත් විදේශ රැකියා සොයාගැනීම් නවතින බවත්, දැනට විදෙස් ගත වී සිටින සේවකයින්ගේ ආරක්ෂාවට බාධා සිදුවන බවත් වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ ශාඛාව මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් දන්වා ඇත.
එමෙන්ම විදේශයන්හිදී කරදරවලට මුහුණ දෙන ශ්‍රී ලාංකිකයෝ ආපසු ගෙන්වා ගැනීම හෝ ඔවුන් වෙනුවෙන් නීතිමය කටයුතු කිරීම ද නවතිනු ඇතැයි එම සංගමය යවන ලද ලිපියේ සඳහන්ව ඇත.
එම සංගමයේ ලේකම් එම් ඩී සමරක්කොඩි මහතාගේ අස්සනින් යුතුව ඉකුත් 24 වැනිදා යවා ඇති එම ලිපියේ, එතෙර දූත මණ්ඩල කාර්යාලවල ස්ථාපිත කර ඇති රැකියා හා සුභසාධන අංශ වසා දැමීමට අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතින බව සඳහන් කර ඇත.
විදේශ දූත මණ්ඩල 16 ක සේවය කළ නිලධාරින් 150 දෙනාගෙන් මේ වනවිට 125 දෙනෙකුම ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඇතැයි එම ලිපියෙන් පෙන්වා දෙන අතර එම කාර්යාල වසා දැමීමට උත්සාහ කරන බවට එයම සාක්ෂියක් යැයි පෙන්වා දෙයි.
මේ සම්බන්ධව ලංකාදීපයට අදහස් දක්වමින් වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ ශාඛාවේ සභාපති අනුර කුමාර සූරියආරච්චි මහතා කියා සිටියේ මේ වනවිට ජෙඩා හි කොන්සල් කාර්යාලයේ කාර්යංශය නියෝජනය කරන කිසිදු නිලධාරියෙකු නොමැති බවය.
බහරේනයේ, ඊශ්‍රායලයේ, ජෝර්දානයේ, දකුණු කොරියාව, මැලේසියාව, හා මාලදිවයින යන රටවල ඇත්තේ එකම නිලධාරියෙකු බැගින් පමණක් බවත් ඔවුන් ද ලිපිකරුවන් පමණක් බවත් ඔහු සඳහන් කළේය. එමෙන්ම මේ අයගෙන් වැඩි පිරිසක් 2021 වසර වනවිට සේවාකාලය අවසන්ව ආපසු පැමිණීමට නියමිත පිරිස් බව ද හෙතෙම කියා සිටියේය.
මෙම රටවල්වලින් බොහොමයක් ගෘහ සේවයට ශ්‍රී ලාංකික කාන්තාවන් යන රටවල් බැවින් විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන කාන්තාවන් මෙම සුභසාධන අංශයේ පිහිට සොයා එන බවත් පෙන්වා දුන් සූරිආරච්චි මහතා විශේෂයෙන් බන්ධනාගාර ගත වූ ශ්‍රී ලාංකිකයන්, රෝහල් ගත වූ ශ්‍රී ලාංකිකයන් හා අධිකරණමය කටයුතුවලට මුහුණ දී සිටින්නන් වෙනුවෙන් සපයන සහය මේ වනවිටත් බිඳ වැටී ඇතැයි පෙන්වා දුන්නේය.
එබැවින් මේ සේවාවන් තවදුරටත් ලබා දීමට පියවර ගන්නැයි ඉල්ලමින් ලිපිය යැවූ බවත් එහි පිටපත් කම්කරු අමාත්‍යවරයා, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා, එම අමාත්‍යංශ දෙකෙහි ලේකම්වරු මෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයා වෙත ද යැවූ බව ද ඔහු කියා සිටියේය.

