(ඩයනා උදයංගනී)
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර හේතුවෙන් පීඩාවට පත් අහිමි වූ ධීවරයන්ට වන්දි ගෙවීම සඳහා නෞකාවේ රක්‍ෂණ ආයතනය වෙතින් ශ්‍රී ලංකා රජයට තවත් රුපියල් කෝටි 91ක මුදලක් ලැබී ඇතැයි ධීවර අමාත්‍යාංශය පවසයි.
නෞකා අනතුර හේතුවෙන් ජීවිකාව අහිමි වූ ධීවර කාර්මිකයන්ට වන්දි ගෙවීම සඳහා වන තුන් වන අතුරු වන්දි මුදල වශයෙන් මෙම මුදල ලැබී ඇත.
මෙම වන්දි මුදල ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල පීඩාවට පත් ධීවරයන් 15,032 දෙනකු අතර බෙදාදීමට කටයුතු කරන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අමාත්‍යාංශ ලේකම් ඉන්ද්‍රා රත්නායක මහත්මියට උපදෙස් දී ඇතැයි ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට පෙර ද නෞකාවේ රක්‍ෂණ ආයතනය වෙතින් නෞකා අනතුර නිසා ජීවිකාව අහිමි වූ මෙරට ධීවරයන්ට වන්දි ලෙස රුපියල් කෝටි 34ක් සහ කෝටි 33ක් වශයෙන් දෙවතාවකදී අතුරු වන්දි මුදල් ලබා දී ඇත.
මෙම මුදල් අනතුරෙන් බලපෑමට පත්වූ ධීවරයන් වෙත ඔවුන්ගේ යාත්‍රා වර්ගය, පන්න ක්‍රමය හා අහිමි වූ ආදායම අනුව රුපියල් 80,000 සිට 2,40,000 දක්වා වන්දි මුදල් ගෙවා ඇතැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හටගත් ගින්නෙන් පසු ධීවර ජනතාවගේ හා ඔවුන්ගේ යාත්‍රාවල ආරක්‍ෂාව සහ බලපෑමට ලක් වූ ප්‍රදේශවල මසුන් පරිභෝජනයෙන් ඇතිවිය හැකි බලපෑම් වළක්වාගැනීම සඳහා මීගමුව සිට පානදුර දක්වා ප්‍රදේශයේ ධීවර කටයුතු තහනමක් පනවා තිබූ අතර, ඒ හේතුවෙන් ධීවර කාර්මිකයන් 15,032 කට ජීවිකාව අහිමිව තිබිණි.
ඔවුන් වෙත මෙම වන්දි මුදල බෙදාහැරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුකිරීමට නියමිතය.

