එංගලන්ත තරුණියට අතවර කළ ධීවරයා අල්ලයි


(එම්.කේ.නන්දසේන)

 එංගලන්ත ජාතික තරුණ  කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන 38 හැවිරිදි ධීවරයෙකු කිරින්ද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාව මවුපියන් සමග කිරින්දට පැමිණ ගොඩාන හංදිය සීමාවේ නවාතැනක් ලබාගැනීම සඳහා ගොස් තිබේ.

ඇය අදාල නවාතැන් පොල ඉදිරිපිට මාර්ගයේ සිටියදී මහ මග ගමන් ගත් පුද්ගලයෙකු තමා අසලට පැමිණ තමා බදාගෙන බලහත්කාරයෙන් සිප වැළඳ ගත් බවත්, එම පුද්ගලයා සමග පොර බැඳීමේදී ඔහු පලාගිය බවත් කළ පැමිණිල්ලේ සදහන්ය.

 අනතුරුව මෙම කාන්තාව අදාල පුද්ගලයාට අයත් එම ස්ථානයේ වැටී තිබූ ජංගම දුරකථනයද කිරින්ද පොලීසියට බාර දෙමින් මෙම පැමිණිල්ල සිදු කර තිබේ.

     එම ජංගම දුරකථනයේ තිබූ  ඡායාරූප ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ කිරින්ද පොලිසියේ  නිලධාරීන් පිරිසක් මාගම  ප්‍රදේශයේ පදිංචි ධීවරයෙකු බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. 

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අද (23) තිස්සමහාරාම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.