(නිමල කොඩිතුවක්කු)
අපොස උසස් පෙළ විභාගය ආරම්භ දිනයේ පවා විදුලි කප්පාදුවක් කරන්නට ආණ්ඩුව තීන්දුකොට ඇති බවත් දරුවන්ගේ අනාගතය අඳුරේ හෙළන විදුලි කප්පාදුව වහා නතර කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
මේ තරම් අන්තනෝමතික සහ අකාරුණික තීන්දුවක් ආණ්ඩුව විසින් ගැනීම විමතියට කරුණක් නොවන්නේ ආණ්ඩුවේ ස්වභාවය පිළිබඳව අවබෝධයක් තිබෙන නිසා බවත් විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
"ලක්ෂ සංඛ්‍යාත දරු පිරිසකගේ අනාගතය පිළිබඳව තීන්දුවක් ගනු ලබන තීරණාත්මක උසස් පෙළ විභාගයේදී වත් විදුලිය ලබාදීමට නොහැකි නම් ඒ ආණ්ඩුව මොනතරම් ජනතා විරෝධීද යන්න සිතාගත හැකිය.
යන්තම් වේල පිරිමසාගෙන ජීවන අර්බුදයක කරවටක් ගිලී සිටින ජනතාවගේ හිස මත විදුලි ගාස්තුව වැඩිවීමද සිදුකොට ඇති අතර උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ගේ අනාගතය අඳුරේ හෙළමින් විභාගය දිනවල පවා විදුලිය කැපීමට තීන්දු කිරීම තුලින් රටේ අනාගතයම අඳුරේ හෙළමින් තීන්දුව ගෙන තිබේ.
එබැවින් අපි ආණ්ඩුවට බලකර සිටින්නේ මේ ලජ්ජා සහගත තීන්දුව වහාම හකුලාගෙන අඛණ්ඩව විදුලිය සැපයීමට කටයුතු කරන ලෙසය. එය එසේ නොවන්නේනම් ඊට එරෙහිව නැගෙන ජනතා ශාපයෙන් ආණ්ඩුවට ගැලවිය නොහැකි බව අවධාරණය කරමු.

