උසස් පෙළ කෘෂි ප්‍රශ්න පත්‍රය පැන්නුවයි කා.කා.ස අත්අඩංගුවට


(ගයාන් සූරියආරච්චි)

මෙවර පැවැති උසස් පෙළ විභාගයට අදාල කෘෂි කර්ම ප්‍රශ්න පත්‍රය සොරාගෙන සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව ප්‍රදේශයේ විද්‍යාලයක කාර්යාල කාර්ය සහායකවරයක් අද (15) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු මොරටුව ප්‍රදේශයේ පාසලක කාර්යාල කාර්ය සහායකවරයකු ලෙස සේවය කළ අවුරුදු 38 ක පුද්ගලයකු බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු කෘෂි කර්ම ප්‍රශ්න පත්‍ර සිසුවකුට මුදලට විකුණා ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලින් නිරීක්ෂණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කීය.

මොරටුව ප්‍රදේශයේ  විද්‍යාලයක විභාගය පැවැත්වෙන අවස්ථාවලදී සැකකරු ශාලාධිපතිවරයාට සහාය දෙමින් විභාග කටයුතුවලට සහාය ලබාදී ඇති අතර එහිදී සැකකරු එහි සිටින නිලධාරීන්ට හසු නොවන ආකාරයට ඉතා සූක්ෂමව කෘෂි කර්ම ප්‍රශ්න පත්‍රය සොරාගෙන ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොහු විසින් තනිව මෙම පත්‍ර සොරකම් කිරීම සිදුකළාද නැතිනම් තවත් කවුරුහෝ ඔහුට සහාය වූයේද යන්න පිළිබදව වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිසිය කියයි.