උපාධි සහතිකය ගෙදර තබා පැල් රකින ගෙවිලිය


(උපුල් හේරත්)

රැකියාවක් නොමැතිව ගිනියම් අව්වේ මහ පොළව සමග හැප්පෙමින් රැය පහන් වන තුරු එම වගා අලින්ගෙන් ආරක්ෂකර ගැනීම ගහක්  උඩ තැනූ පැලක පැල් රකින උපාධිකාරි එක් දරු මවක අනුරාධපුර මහවිලච්චිය පේමඩුවේ දී අපට හමු විය.

ඇය නමින් ඩී.පී. චතුරිකා දර්ශනී විපුලසේනය. දරුවන් පස් දෙනකුගේ පවුලේ සාමාජිකයකු වූ චතුරිකා මූලික අධ්‍යාපනය ඔයාමඩුව සිද්ධාර්ථ විද්‍යාලයෙන් සපුරා ගත් අතර උසස් අධ්‍යාපනය සඳහා අනුරාධපුර මැදිවිදුහලට ඇතුළත් වූවාය.

2014 වසරේ විශ්ව විද්‍යාලයට වරම් ලැබූ ඇය එය සාර්ථකව නිම කළාය. උපාධියෙන් අනතුරුව ඊට සුදුසු රැකියාවක් සොයා ගැනීම සඳහා වසර ගණනක් තිස්සේ පය ගෙවන ඇවිද්දත් ඇයට සුදුසු රැකියාවක් මෙතෙක් නොලැබුණාය.

ජීවිතය ගැටගසා ගන්නට හරිහමන් ජිවනෝපායක් නොලද ඇය අවසානයේ සිය සැමියා සමග මහ පොළොව සමග පොර බදන්නට වූයේ තම එකම දරුවාටද ආරක්ෂාව ලබා දෙමිනි.

දහවල් කාලයේ මහ පොළව සමග පොර බදින ඇය රාත්‍රී කාලයේ ගොවිපොළෙ රූස්ස ගසක ඉදිකළ පැලක රැය ගත කරන්නේ ආශාවට නොව වන අලින් ඇතුළු වන සතුන්ගෙන් තම ගොවිතැන් ආරක්ෂා කර ගැනීමටය. ඒ සෑම තැනකටම ඇය තම කුඩා පුතුද රැගෙන යාමට ඇයට සිදු වූවාය.

අනුරාධපුරයේදී ඉකුත් දා පැවැති රැකියා විරහිත තරුණ තරුණියන්ගේ විරෝධයේ දී ලොකු හඬක් ඇසුණේ ද ඇගෙන්ය.