(එෆ්.අස්ලම්)
දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දෙමළ දේශපාලන පක්ෂ පහක් විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය කිසිදු ජනපති අපේක්ෂකයකු පිළිනොගන්නා බවත් මෙය දෙමළ ජනතාව රැවටීමේ නාඩගමක් සේ දකින බවත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වී.ආනන්ද සංගරි මහතා අවධාරණය කර සිටීයි.
ෆෙඩරල් විසඳුමක් නොදෙන බවට හා ඒකීය රාජ්‍ය සංකල්පයෙන් බැහැර නොවන බවට ජනපති අගමැති ප්‍රමුඛ රජයත් දකුණේ දේශපාලන නායකයිනුත් පුන පුනා ප්‍රකාශ කර තිබියදීත් මේ ආකාරයේ යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත්තේ දෙමළ ජනතාව ඉදිරියේ ඔවුන් වෙනුවෙන් කැපවෙන නියෝජිතයන් බව පෙන්වීමේ අරමුණින් යැයි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ තවදුරටත් සදහන් කර සිටී.
උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම,ඒකීය රාජ්‍ය සංකල්පයෙන් බැහැර ෆෙඩරල් විසදුමකට බලකිරීම ඇතුළු ඉල්ලීම් 13ක් ඇතුළත් කරමින් උතුරේ දේශපාලන පක්ෂ පහක් විසින් අත්සන් කර ඇති ගිවිසුම පිළිබඳ අද (21) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සංගරි මහතා මේ බව අවධාරණය කළේය.
එහි වැඩිදුරටත් මෙසේ සදහන් කර ඇත.
දෙමළ දේශපාලන පක්ෂ පහක් එක්ව ඉදිරිපත් කර ඇති යෝජනාවලියෙහි ඇති ඉල්ලීම් කිසිදු ජනපති අපේක්ෂකයකුට පිළිගත හැකි ඒවා නොවෙයි. ඒ බව දැන දැනත් තමන් දෙමළ ජාතිකත්වය වෙනුවෙන් කැපවෙන වෙහෙසෙන බව පෙන්වීම සඳහා ඉදිරිපත් කළ නාඩගමක් විදිහටයි මෙය දකින්නේ.
දකුණේ දේශපාලන නායකයින් ජනපති අගමැති අමාත්‍යවරුන් ඇතුළු දේශපාලන පක්ෂ ජාතික ගැටළුවට ෆෙඩරල් විසඳුමක් නොමැති බවත් ඒකීය රාජ්‍ය සංකල්පයට අනුව විසඳුම් ලබාදෙන බවටත් පුන පුනා ප්‍රකාශ කර තිබෙනවා. ඒ බව දැන දැනත් මොවුන් මේ ආකාරයේ සාක්ෂාත් නොවන ඉල්ලීම් ඇතුළත් කරමින් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙන්නේ දෙමළ ජනතාව රැවටීමේ අරමුණින්.
දෙමළ ජාතික සන්ධානය ඇතුළු මේ යෝජනාවලියට අත්සන් කළ පක්ෂ පහටම ඇත්තේ විසදුම් දෙකක් පමණයි. එක ඡන්දය දැමීමෙන් වැළකී සිටින්නැයි කීම. දෙවැන්න මේ ඉල්ලීම් පිළිගන්නා සිවාජිලිංගම් මහතාට සහාය දෙන්න යැයි කීම.මේ දෙකෙන් එකක් හෝ මොවුන් කියාවිද ?
මේ යෝජනාවලියේ ගැටළුකාරී ඉල්ලීම් හැර අනෙක් ඉල්ලීම් සියල්ලම දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසින් ජනපති හා අගමැතිවරුන්ට ඉදිරිපත් කරපු ඉල්ලීම්. 2005 වසරේදී ෆෙඩරල් ව්‍යූහයේ දේශපාලන විසඳුමක් ඉදිරිපත් කරල රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරග කරපු අවස්ථාවේදී ඒ විසඳුම පිළිගනිමින් 49%ක ප්‍රතිශතයක් රනිල් වික්‍රමසිංහට ඡන්දය ප්‍රකාශ කළා. නමුත් එදා ඒ තිබුණු තත්වය අද නැහැ.
එදා ඒ විසදුම ප්‍රතික්ෂේප කරමින් දෙමළ ජනතාවට ඡන්දය ලබාදෙන්න එපා කියලා දෙමළ ජාතික සන්ධානය බලකර සිටියා. ඒ දෙමළ ජාතික සන්ධානයට අද ෆෙඩරල් විසඳුමක් ගැන කතා කරන්න පුළුවන් කොහොමද ? එය දෙමළ ජාතික සන්ධානය විසින් එදා කරපු සුවිශාල ඉතිහාසගත වරදක් යැයිද ආනන්ද සංගරි මහතා සිය නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

