
(සුජිත් හේවාජුලිගේ )
විවාහ මංගල්‍ය උත්සව , අවමංගල්‍ය උත්සව අවන්හල්, රැස්වීම්, වැඩමුළු සහ සම්මන්ත්‍රණ සඳහා ක්‍රියාත්මක කෙරුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ හෙට (15) සිට තවදුරටත් ලිහිල් කෙරේ.
සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙසේ ලිහිල් කෙරෙන්නේ රටේ කොරෝනා පැතිරීම යම් ආකාරයකට පාලනයවී තිබීම නිසා යැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති .
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අලුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් අද (14) නිකුත් කරන ලද අතර මෙම සීමා ලිහිල් කිරීම කරනු ලැබ ඇත්තේ එම මාර්ගෝපදේශ සංග්‍රහය මගිනි.
මේ අනුව විවාහ මංගල උත්සව ශාලාවක ඇතුළු කරගත හැකි පුද්ගලයින් ගණනින් සියයට 25ක් පිරෙන ආකාරයට සහ උපරිම පුද්ගලයින් සංඛ්‍යාව 50කට පමණක් සීමා කරමින් විවාහ මංගල උත්සව පැවැත්වීමට අවසර ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
එසේම මංගල උත්සව මත්පැන් භාවිතයෙන් තොර විය යුතුය.
කොවිඩ් පැතිර යෑමත් සමග සියලු විවාහ ලියාපදිංචි කිරීම්වලට පමණක් සීමා කර තිබුණි.
මේ අතර අවමංගල්‍ය උත්සවයකට එක් වරක සහභාගී විය හැකි පුද්ගලයින් සංඛ්‍යාවද 15ක් දක්වා ඉහළ නංවා ඇත.
නව මාර්ගෝපදේශයන්ට අනුව ක්‍රීඩා ඉසව් කිහිපයක් සඳහාද අවසර හිමිව ඇත.
එසේම අවන්හල්වල ආසන ධාරිතාවයෙන් සියයට 30ක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කරගැනීමේ හැකියාව ලැබේ. එහෙත් මත්පැන් භාවිතය තහනම් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
රැස්වීම්, වැඩමුළු, සම්මන්ත්‍රණ ආදියද ශාලා වල ඉඩ ප්‍රමාණයෙන් සියයට 25ක් පිරෙන සේ, උපරිම 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්විය හැකිය.
මේ අතර මංගල උත්සව පැවැත්වීමේ දී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඒවා පවත්වන්නේද යන්න පිළිබඳ පරීක්ෂා කිරීම් දිගටම සිදුකරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසීය.

