උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අලාභය ගැන තක්සේරු වාර්තාවක්


(බිඟුන් මේනක ගමගේ )
 
උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අයවැය විමසන අවස්ථාවේ එහි හිටපු සභාපතිවරයාට පහරදීමේ සිදුවීමේදී සභාවේ දේපලවලට සිදු වූ අලාභය ගැන තක්සේරු වාර්තාවක් සකසා  අද (11) පේරාදෙණිය පොලිසියට ලබා දුන් බව  සභාපති  ගාමිණි තෙන්නකෝන් මහතා පැවසීය.
 
ප්‍රාදේශීය සභාවේ වැඩි අධිකාරිවරියා විසින් අලාභය ගැන සකස් කරන ලද තක්සේරු වාර්තාවක් මගින් මෙම ගණනය කිරීම කළේ යැයි ද පහරදීම හා දේපළවලට සිදු වූ අලාභය ගැන ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය විසින් පේරාදෙණිය පොලිසියට කළ පැමිණිල්ලට අදාළව මෙම තක්සේරු වාර්තාව ලබාදුන්නේ යැයි ද සභාපතිවරයා  සඳහන් කළේය.
 
එම පහරදීමේදී සභාවේ පොදු දේපලවලට රුපියල් ලක්ෂයක පමණ හානියක් වී ඇතැයි  සභාපතිවරයා පැවසීය.  
 
සිදුවීම ගැන පැමිණිලි තුනක් කළේ යැයි කී සභාපතිවරයා වීඩියෝ සාක්ෂි සියල්ල තිබියදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දින හතරක් තිස්සේම පොලිසිය අසමත්වීම පුදුමයට කරුණක් යැයි අවධාරණය කළේය.