
(සමන් පාලිත නානායක්කාර)
උඩරට දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් අද (24) උදෑසන සිට උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.
මේ වන විටත් ධාවනය වන දුම්රිය ඉතා මන්දගාමීව සිදුවන බවද දුම්රිය පාලක මැදිරිය පැවසීය.
විශේෂයෙන් ඉදල්ගස්හින්න ඕහිය අඹේවෙල පට්ටිපොළ යන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතිය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවද දුම්රිය පාලක මැදිරිය පැවසීය.
විශේෂයෙන්ම උඩරට දුම්රිය මාර්ගයට හපුතලේ දියතලාව පට්ටිපොල දක්වා කොටසට දැඩි සුළං සමග ගස් කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් දුම්රිය ධාවනය කිරීම අනතුරු දායක තත්වයක පවතී.
පවතින තද වැසි සහිත කාලගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය සහ විශේෂ දුම්රියද, කොළඹ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිත රාත්‍රී සීඝ්‍රගාමී දුම්රියද මේ වන විට අවලංගු කර තිබේ.

