ඊශ්‍රායල- පලස්තීන ගැටුම් ගැන ශ්‍රී ලංකාව කනස්සල්ලෙන්


(විමුක්ති එස් රුද්‍රිගු)

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දරුණු ගැටුම් ඇතිවීමත් දෙපාර්ශවය අතර ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වීමත් පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කණස්සල්ල පළ කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර ඇත.

ප්‍රචණ්ඩත්වය වහා නවත්වන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලා සිටින බවත් තවදුරටත් සිවිල් වැසියන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා උපරිම සංයමයකින් කටයුතු කරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ දැක්වේ.

ටෙල් අවීව් සහ රාමල්ලා හි තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාල සිද්ධිය දැඩිව නිරීක්ෂණය කරමින් සිටින බවත් ගැටුම් වලින් බලපෑ ඇති ප්‍රදේශ වල සිටින ශ්‍රී ලාංකිකයන් සමඟ එම තානාපති කාර්යාල නිරන්තරයෙන් සම්බන්ධීකරණය සිදු කරන බවත් විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

මේ දක්වා ගැටුම් හේතුවෙන් එක් ශ්‍රී ලාංකිකයෙකු සුළු තුවාල ලබා සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දුන්නේය.